April 27, 2024

ටෙස්ට් තරගය එක්දින සිරි ගනී! සිංහයන් හමුවේ කොදෙව්වන් අසරණ වෙයි! (VIDEO)

November 22, 2021

ICC ටෙස්ට් ලෝක ශූරතාවය යටතේ පැවැත්වෙන තරගයක්වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අදාළව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (22) සවස 5.30 ආසන්න වෙද්දී අවසන් වූවා.

දිනය අවසන් වූයේ ශ්‍රී ලංකාවට වැඩි වාසි ගෙන දෙමින්.

එහි දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් අසරණ තත්ත්වයකට ඇද දමමින් අද දිනය නිමා වීම විශේෂත්වයක්.

අද දිනයට තරගය නතර කරන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුළු 06ක් දැවී සිය පළමු ඉනිම වෙනුවෙන් රැස් කරගෙන සිටි ලකුණූ ගණන 113ක්.

කඩුළු බිඳවැටුම

ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගේ දක්ෂතා විශේෂයෙන් කැපී පෙනුනා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පළමු කඩුල්ල බිඳ වැටුණේ ඉනිමෙහි 20 වැනි පන්දු වාරයේ දී යි.

එලෙස දැවී ගියේ ලකුණු 20ක් ලබා සිටි ජෙර්මයින් බ්ලැක්වූඩ්ගේ කඩුල්ලයි.

ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවකට කඩුල්ල මුවා කරමින් ඔහු දැවී ගියා.

එම කඩුල්ලත් සමග බිඳ වැටුණේ කොදෙව් ආරම්භක පිතිකරුවන් යුගලය ගොඩ නැගූ ලකුණූ 46ක සබඳතාව යි.

දෙවැනි කඩුල්ල දවා ගත්තේ ප්‍රවීන් ජයවික්‍රම විසින්.

කොදෙව් මුලු ලකුණූ ගණන 51ක් බවට පත් වෙද්දී එලෙස දැවී ගියේ කෘමා බෝනර්ගේ කඩුල්ලයි.

ඔහුට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණ යි.

ජයවික්‍රම යැවූ පන්දුව බෝනර්ගේ පිත්තෙහි වැදී පසුපසට විසි වූ අතර එය මනරම් උඩපන්දුවක් අයුරින් රැක ගැනීමට ධනංජය ද සිල්වා සමත් වූවා.

සිය කණ්ඩායමේ කඩුළු දෙකක් අඩු ලකුණූ ගණනක් තුළ එලෙස දැවී යද්දී ඉනිම ගොඩනැගීමේ උත්සාහයක නිරත වූ ක්‍රෙයිග් බ්‍රත්වයිට්ගේ එම උත්සාහය ව්‍යර්ථ කිරීමට රමේෂ් මෙන්ඩිස් සමත් වූවා.

මෙන්ඩිස් යැවූ පන්දුවට බ්‍රත්වයිට් එල්ල කළ පහර උඩ පන්දුවක් ලෙස රැක ගත්තේ පැතුම් නිස්සංක විසින්.

මුලු ලකුණූ ගණන 80 වෙද්දී තෙවැනි කඩුල්ල ලෙස බ්‍රත්වයිට් දැවී යද්දී ඔහු ලකුණූ 41ක් ලබා සිටියා.

එම කඩුල්ල බිඳ වැටී වැඩි වේලාවක් යන්නට මත්තෙන් සිව්වැනි කඩුල්ල ද බිඳ හෙලීමට රමේෂ් මෙන්ඩිස් පියවර ගත්තා.

ලකුණූ 10ක් ලබා සිටි ෂයි හෝප් එලෙස දැවී ගියේ කොදෙව්වන්ගේ මුලු ලකුණූ ගණන 83ක් බවට පත් වෙද්දියි.

ලකුණූ පුවරුව 86 වෙද්දී ප්‍රවීන් ජයවික්‍රම යළි ක්‍රියාත්මක වූ අතර පස්වැනි කඩුල්ල ලෙස ජොමෙල් වරිකන් දවා ගැනීමට ඔහු සමත් වුණා.

වරිකන් හට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණයි.

ඔහුගේ පිත්තෙහි වැදුණු පන්දුව රැක ගත්තේ කඩුළු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් විසින්.

හයවැනි කඩුල්ල සඳහා කායිල් මයෙර්ස් සහ රොස්ටන් චේස් හට ගොඩ නැගීමට හැකි වූයේ ලකුණු 14ක සබඳතාවක් පමණයි.

ඔවුන් දෙදෙනා කොදෙව් මුලු ලකුණු ගණන 100 දක්වා රැගෙන ගිය නමුත් එසැණින් හයවැනි කඩුල්ල ද දැවී ගියේ රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවකින්.

40 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී මෙන්ඩිස් විසින් එලෙස දවා ගත්තේ රොස්ටන් චේස්ගේ කඩුල්ලයි.

දැවී යද්දී ඔහු ලබා සිටියේ ලකුණු 02ක් පමණයි.

මේ ආකාරයෙන් කොදෙව් ඉනිමෙහි කඩුළු 06ක් බිඳවැටුණු පසුබිමක තරගයේ දෙවැනි දිනය නිමා වූ අතර ඒවන විට ඔවුන් ලකුණූ 113ක් ලබා සිටියා.

ඒ පන්දුවාර 42ක් අවසානයේ දී.

පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් ලකුණූ 23කට කඩුළු 03ක් බිඳහෙලුවා.

ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 25කට කඩුළු 02ක් බිඳ හෙලූ අතර ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 39ක් ලබා දෙමින් එක් කඩුල්ලක් දවාගත්තා.

තරගයේ තෙවැනි දිනය හෙට (23) උදෑසන 10ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

කොදෙව් ඉණිමේ විශේෂ අවස්ථා වීඩියෝව පහතින්..

පළමු දිනය

ඊයේ (21) පළමු දිනය ආරම්භයේ දී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට යි.

ඒ අනුව පිටියට පිවිසුණු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලයවන දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ ලකුණු සබඳතාව 139ක්.

එය ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරුවන් යුගලයක් කොදෙව් කණ්ඩායමකට එරෙහිව වාර්තා කළ වැඩිම ලකුණූ සබඳතාව ද වනවා.

එමෙන්ම සිය පස්වැනි ටෙස්ට් තරගයට සහභාගී වූ පැතුම් නිස්සංක ඔහුගේ දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය ද ලබා ගත්තා.

කෙසේ වෙතත් නිස්සංක ලකුණු 56ක් ලබා සිටිය දී දවා ගන්නට ශැනෝන් ගේබ්‍රියල් සමත් වූවා.

මීලඟ පිතිකරුවන් වූ ඔසඳ ප්‍රනාන්දු සහ ඇන්ජලෝ මැතිව්ස් යන දෙදෙනාටම සාර්ථක වීමට රොස්ටන් චේස් ඉඩ ලබා දුන්නේ නැහැ.

එම දෙදෙනාම ලකුණූ 03 බැගින් ලබා සිටිය දී දවා ගන්නට චේස් සමත් වූවා.

කඩුළු 03ක් එලෙස දැවී යද්දී පිටියට ආ ධනංජය ද සිල්වා අනෙක් පස සිටි දිමුත් කරුණාරත්න සමග එක්ව අගනා සබඳතාවක් ගොඩ නැගුවේ ශ්‍රී ලංකා පළමු ඉනිම ශක්තිමත් කරමින්.

සිය 09 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට ද ඔහු සමත් වූවා.

එමෙන්ම නායක දිමුත් කරුණාරත්න ඊයේ සිය 13 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළා.

එය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව දිමුත් ලබා ගත් දෙවැනි ටෙස්ට් ශතකය ද වනවා.

තව ද මෙම වසර තුළ දිමුත් ලබාගත් සිව්වැනි ටෙස්ට් ශතකය ද මෙය යි.

පන්දුවාර 88ක් අවසානයේ දී අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් පළමු දිනය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03ක් දැවී ලකුණු 267ක් ලබාගෙන ශක්තිමත් ස්ථාවරයක පසු වූවා.

දිනය නිමා වෙද්දී දිමුත් කරුණාරත්න නොදැවී ලකුණූ 132ක් ද ධනංජය ද සිල්වා නොදැවී ලකුණූ 56ක් ද ලබා සිටියා.

ඊයේ දිනය අතරතුරේ දිමුත් එල්ල කළ පහරක් හිසෙහි වැදී කොදෙව් ක්‍රීඩක ජෙරමි සොලොසානෝ අනතුරකට භාජනය වීම ද කැපී පෙනුණු සිදුවීමක් වූවා.

සිය මංගල ටෙස්ට් ජාත්‍යන්තර තරගයේ දීම ඔහු මෙලෙස අනතුරකට ලක් වූ අතර ඔහු වහාම රෝහල්ගත කිරීමට පියවර ගැනුණා.

නරඹන්න: පළමු තරගය මැද සිදුවූ අවාසනාවන්ත අනතුර

අද දිනයේ ආරම්භය

හොඳින් පිටියෙහි ස්ථාවර වී සිටි දිමුත් සහ ධනංජය, තරගයේ දෙවැනි දිනය වූ අද දිනය ඇරඹූවේ ජයග්‍රාහී මානසිකත්වයකින්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා සිව්වැනි කඩුල්ල ලෙස ධනංජය ද සිල්වා දැවී ගියේ අවාසනාවන්ත ආකාරයකට යි.

ෂැනන් ගේබ්රියල් යැවූ 95 වැනි පන්දුවාරයේ තුන්වැනි පන්දුවට ධනංජය පහරක් එල්ල කළ නමුත්, පොළවෙහි ගැටී පන්දුව කඩුල්ල දෙසට පොළා පැනීම හේතුවෙන් එය බේරා ගැනීම පිණිස ධනංජය පන්දුවට යළිත් වරක් පහර දීමට උත්සහ දැරුවා.

කෙසේ වෙතත් එම උත්සාහය අසාර්ථක වූයේ “හිට් විකට්” ආකාරයෙන් ධනංජයගේ පිත්ත කඩුල්ලේ වැදීමත් සමගයි.

එලෙස දැවී යන විට ධනංජය ද සිල්වා ලකුණු 61ක් ලබා සිටියා.

නරඹන්න: හැමෝම කතා වුණ ධනාගේ අමුතු දැවී යාම (VIDEO)

ධනංජය සහ දිමුත් එක්ව ගොඩ නැගූ ලකුණු සබඳතාව 111ක්.

ඉනිමෙහි 100 වැනි පන්දු වාරයේ දී දිමුත් කරුණාරත්න ද දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමෙහි ප්‍රාණවත් බව හීන කරමින්.

රොස්ටන් චේස් එවූ පන්දුවක් කඩුලු රකින ක්‍රීඩක ජෝෂුවා ද සිල්වා විසින් ස්ටම්ප් කිරීමකට ලක් කළ අතර දිමුත් කරුණාරත්න දැවී ගිය ක්‍රීඩකයෙකු බවට තෙවැනි විනිසුරු රවීන්ද්‍ර විමලසිරි තීරණය කළා.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ නිමාව

තමන් මුහුණ දුන් 300 වැනි පන්දුවට එලෙස දැවී යද්දී දිමුත් ලකුණූ 147ක් ලබාගෙන සිටියා.

දිනේෂ් චන්දිමාල් ද අර්ධ ශතකයකට ලඟා වූ නමුත් එය ව්‍යර්ථ වූයේ ලකුණූ 45ක් ලබා සිටි ඔහු දවා ගැනීමට රොස්ටන් චේස් සමත් වූ නිසා යි.

අනෙකුත් පිතිකරුවන්ට සැළකිය යුතු ලකුණු ප්‍රමාණයක් අතරට ඒමට හැකි වූයේ නැහැ.

රමේෂ් මෙන්ඩිස් ලකුණූ 13කටත්, සුරංග ලක්මාල් ලකුණූ 11කටත් දැවී යද්දී දුෂ්මන්ත චමීර හට ලබා ගත හැකි වූයේ ලකුණූ 03ක් පමණ යි.

අවසානයේ ඉතිරි වූ ලසිත් ඇඹුල්දෙණිය සහ ප්‍රවීන් ජයවික්‍රම ඉවසිලිවන්ත ලෙස ලකුණු ප්‍රමාණයක් ශ්‍රී ලංකා ඉනිමට එකතු කිරීමට උත්සහ ගත් නමුත් රොස්ටන් චේස් විසින් ඇඹුල්දෙණියගේ කඩුල්ල දවා ගැනීමත් සමග ශ්‍රී ලංකා ඉනිම අවසන් වූවා.

ඇඹුල්දෙණිය දැවී ගියේ ලකුණූ 17කට යි.

අනෙක් අන්තයේ සිටි ප්‍රවීන් ජයවික්‍රම නොදැවී ලකුණූ 08ක් ලබා සිටියා.

සියළු දෙනා දැවී ශ්‍රී ලංකා පිතිකරුවන් පළමු ඉනිම සඳහා රැස් කළ ලකුණු සංඛ්‍යාව 386ක්.

කොදෙව් පන්දු යවන්නෝ

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ රොස්ටන් චේස් කඩුළු 05ක් බිඳහෙළුවා.

ඔහු එක් ඉනිමක් තුළ කඩුළු 05ක් බිඳ හෙලූ 04 වැනි අවස්ථාව ලෙස යි මෙය ඉතිහාසගත වූයේ.

ඔහුට අමතරව ෂැනෝන් ගේබ්‍රියල් කඩුළු 02කුත්, ජොමෙල් වරිකන් කඩුළු 03කුත් බිඳහෙළුවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 November 2021 14:03