April 26, 2024

ආබාධ මැද යුතුකම ඉටුකළ මැතිව් වේඩ්

November 19, 2021

T20 ලෝක කුසලානය නිමාවූයේ ප්‍රබල ඕස්ට්‍රේලියානුවන්ට තම මංගල T20 ලෝක කුසලානය හිමිකර දීමෙනි. අවසන් මහා තරඟයේදී නවසීලන්ත කණ්ඩායමට තවත් අමිහිරි මතකයක් ඉතිරිකර දෙමින් කැන්ගරුවන් ලෝක කුසලානය කැන්ගරු දේශයට රැගෙන යාමට සමත්වුණා.

මංගල ලෝක කුසලාන දිනා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් කඩුලු රකින පිතිකරු මැතිව් වේඩ් විශාල කාර්යයක් ඉටු කළා.

දෙවැනි අවසන් පූර්ව තරඟයේදී විශිෂ්ට පිති හරඹයක නිරත වෙමින් තරඟයේ වීරයා වූ ඔහු අවසන් තරඟයට ක්‍රීඩා කර ඇත්තේ ආබාධයක් ද සමඟින් වීම විශේෂත්වයක්.

අවසන් තරඟයට පෙර දින පුහුණු සැසියේදී වේඩ් ආබාධයට ලක්වී තිබෙනවා, එය උදරයේ මාංසපේශී ඉරීමක් බව වාර්තා වෙනවා.

අවසන් තරඟයේදී තම කණ්ඩායමට මුලින් පන්දුවට පහර දීමට සිදු වේ යැයි තමා කනස්සල්ලෙන් පසු වූ බව පවසා ඇති වේඩ් එසේ වූවානම් පන්දුවට පහර දීමට නොහැකි වීමෙන් කණ්ඩායමට විශාල හානියක් සිදු වනු ඇතැයි ද බියට පත් වී තිබෙනවා.

එම තරඟයේදී නවසීලන්ත ආරම්භක පිතිකරු ඩාර්ලි මිචෙල් දැවී ගියේ වේඩ් රැක ගත් උඩ පන්දුව හේතුවෙනි.

නායක ෆින්ච් පැවසුවේ වේඩ්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ යම් බියක් පැවතියද ඔහු එය සාර්ථක කර ගැනීම පුදුමයක් නොවන බවයි.

“සෑම විටම පොඩි බයක් තිබුණා. මම හිතුවා ඔහු දක්ෂ ලෙස ක්‍රියා කළා කියලා. පිටිපස්සට යන කොට මම දැක්කා ඔහු රැකීම් සහ විසි කිරීම් කිහිපයක් සමඟ වේදනාවෙන් ටිකක් දුක් විඳිනවා, ඒත් ඔහු එය මඟහැරියේ නැහැ.” නායක ෆින්ච් පවසා තිබුනා.

Rate this item
(0 votes)