April 19, 2024

සිම්බාබ්වේහි සිර වූ ක්‍රිකට් ක්‍රීඩිකාවන් කඩිනමින් ගෙන්වාගැනීමට පියවර

November 29, 2021

2022 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියට සහභාගි වෙමින් සිටි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල හැකි ඉක්මනින් යළි ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටින බවට වාර්තා වනවා.

ඒ දකුණු අප්‍රිකාව ඇතුළු එම කලාපයේ රටවල් කිහිපයක කොවිඩ් වෛරසයේ ඔමික්‍රොන් නව ප්‍රභේදය ව්‍යාප්ත වීම වැඩි වීම හේතුවෙන් බව ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කරනවා.

නව කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ ඇතුළු රටවල් කිහිපය ගුවන් ගමන් ද අවලංගු කර තිබෙනවා.

නව කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් සුදුසුකම් ලැබීමේ තරඟාවලිය අතරමග නවත්වා ඇති අතර, ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 6 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ පුද්ගලයකු කොවිඩ් වයිරසයට ගොදුරු වී තිබෙනවා.

වෛරසය ආසාදිත ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩිකාවන්ගේ තත්ත්වය බරපතළ නොවූවද කණ්ඩායමේ සෙසු ක්‍රීඩිකාවන් සමඟ ඔවුන් නොපැමිණෙන බවත්, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරීමෙන් පසු ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවත් ඈෂ්ලි ද සිල්වා මහතා වැඩිදුරටත් පවසා සිටිනවා.

“අපි පාර්ශ්ව කිහිපයක් එක්ක සාකච්ඡා කරගෙන යනවා. කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපොළට ගුවන් යානා ගමන් කරන නිසා එතැන් සිට හරාරේ නුවරට යා හැකි ගුවන් යානයක් මගින් ක්‍රීඩිකාවන් ගෙන්වා ගැනීමට වැඩ පිළිවෙළක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා.

කොහොම වුණත් අද හෙටම ක්‍රීඩිකාවන් ගෙන්වා ගැනීමයි අපේ උත්සාහය.” ඈෂ්ලි ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන්කර සිටියා.

 

Rate this item
(0 votes)