April 25, 2024

අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවතට

November 29, 2021

2022 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟාවලිය අතරමග නතර වීමෙන් වසර 24කට පසු පළමු වරට ශ්‍රී ලංකා කාන්තා පිලට ලෝක කුසලාන තරග වරම් අහිමි වී ගියා.

ඒ කොවිඩ් වෛරසයේ නව ඔමික්‍රොන් ප්‍රභේදය දකුණු අප්‍රිකාව ඇතුළු අප්‍රිකානු මහාද්වීපයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන්.

මීට පෙර වැනේසා ද සිල්වාගේ නායකත්වයෙන් පළමුවරට 1997 වසරේදී කාන්තා එක්දින ලෝක කුසලාන තරඟාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඉන් අනතුරුව පැවැති සියලු තරඟාවලි සඳහා සහභාගි වී තිබෙනවා.

ශ්‍රී ලංකාව සමඟ සත්කාරක සිම්බාබ්වේ, පාකිස්තානය, බංග්ලාදේශය, බටහිර ඉන්දීය කොදෙව් පිල, අයර්ලන්තය, නෙදර්ලන්තය, තායිලන්තය සහ අමෙරිකාව ක්‍රීඩා කළ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය අයිසීසීය විසින් අවලංගු කරන විට ශ්‍රී ලංකා පිල ‘ඒ‘ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන පසු වූයේ නෙදර්ලන්තය පරාජයට පත් කරමිනි.

තරඟාවලිය අවලංගු වූයේ ශ්‍රී ලංකාව සහ කොදෙව් පිල අතර තරඟය පැවැත්වීමට පැය කිහිපයකට පෙරයි.

ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 6 දෙනකුට සහ කාර්ය මණ්ඩලයේ පුද්ගලයකුට කොවිඩ් ආසාදනය වී තිබූ අතර, එය තරඟයට බාධාවක් නොවූ බව සිම්බාබ්වේ ආරංචි මාර්ග සඳහන් කළා.

තරඟාවලිය ආරම්භයේ සිටම වරින් වර ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩිකාවන්ට කොවිඩ් වයිරසය ආසාදනය වෙමින් තිබූ බවත්, තරඟාවලිය අවලංගු වන විට කොවිඩ් ආසාදිත ක්‍රීඩිකාවන් තිදෙනකුගේ තත්ත්වය සුව අතට හැරෙමින් තිබූ බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කර තිබුණා.

කොවිඩ් ආසාදිත කිසිදු ක්‍රීඩිකාවකට රෝග ලක්ෂණ පෙන්නුම් කර නැති බවත් වාර්තා වනවා. ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩිකාවන්ට ආසාදනය වී ඇත්තේ ඔමික්‍රොන් ප්‍රභේදය නොවන බව ද ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කළා.

මේ තරඟාවලියේ මූලික වටයේ ඉදිරියට පැමිණෙන කණ්ඩායම් 6 සුපිරි 6 වටයේ තරඟ වැදීමට නියමිතව තිබූ අතර, ශ්‍රී ලංකාවට ඉතා පහසුවෙන් සුපිරි 6 වටයට යෑමේ අවස්ථාවත්, එහිදී තායිලන්තය සහ බංග්ලාදේශය පරාජය කිරීමේ හැකියාව තිබූ බවත් ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරනවා.

ඒ අනුව ප්‍රබල රටවල් ද්විත්වය වන පාකිස්තානය සහ කොදෙව් පිල සමඟ ලෝක කුසලාන තරඟ වරම් දිනාගැනීමේ කදිම අවස්ථාවක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හමුවේ තිබූ බවත්, ශ්‍රී ලංකා පිල මෙතෙක් බංග්ලාදේශය හමුවේ කිසිදු තරගඟයක් පරාජයට පත්වී නැති අතර, තායිලන්තය යනු කාන්තා ක්‍රිකට් පිටියේ කෝඩුකාර කණ්ඩායමක් නිසා තරඟාවලියෙන් ඉවතට යාමට සිදුවීම අවාසනාවන්ත තත්වයක්.

 

කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් ලබන වසරේ මාර්තු මස 4 වැනිදා සිට අප්‍රේල් මස 3 වැනිදා දක්වා නවසීලන්තයේ පැවැත්වීමට නියමිත 12 වැනි කාන්තා එක්දින ලෝක කුසලාන තරඟාවලියට සත්කාරක නවසීලන්තය සමඟ ඔස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව මීට පෙර සුදුසුකම් ලබා සිටි අතර, සුදුසුකම් ලැබීමේ තරඟාවලිය පැවැත්වූයේ ඉතිරි රටවල් 3 තෝරා ගැනීමටයි.

 

තරඟාවලිය අවලංගු කිරීමත් සමඟ පසුගිය සැප්තැම්බර් මස 30 වැනිදා වන විට කාන්තා එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පළමු අට අතර සිටි බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය සහ බංග්ලාදේශය 2022 කාන්තා එක්දින ලෝක කුසලාන තරඟාවලියේ දොරටු විවර වුණා. බංග්ලාදේශය කාන්තා එක්දින ලෝක කුසලාන තරඟාවලියට සහභාගි වන්නේ පළමුවරටයි.

 

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් මාස 18 ක කාලයක් කිසිදු අන්තර්ජාතික තරගයකට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලබා ශ්‍රේණිගත කිරිම්වල 9 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා පිලට එම අවස්ථාව ගිලිහී ගියා.

ශ්‍රී ලංකා පිල අවසන් වරට අන්තර්ජාතික එක්දින තරගාවලියට ක්‍රීඩා කළේ 2019 වසරේ ඔක්තෝබර් මාසයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව බ්‍රිස්බේන් නුවරදීයි.

 

Rate this item
(0 votes)