May 12, 2024

ෂාජා පිටියේ වාර්තා අලුත් වෙයි! ඊයේ තරගය නිමා වූයේ මෙහෙමයි!

කාසියේ වාසිය

මෙවර පන්දු වාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තවත් තරගයක් ඊයේ (25) රාත්‍රියේ දීත් අවසන් වූවා.

ඒ මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී පෙරළිකාර කණ්ඩායමක් වූ ස්කොට්ලන්තය සහ ප්‍රබල ඇෆ්ඝනිස්තානය අතර යි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ඝනිස්තාන නායක මොහමඩ් නබි තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට යි.

ලකුණු සැණකෙලියක් වූ ඇෆ්ඝන් ඉනිම

ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ඝන් ආරම්භක පිතිකරුවන් ෂාජා පිටිය හතරේ සහ හයේ පහර වරුසාවකින් වර්ණවත් කළේ ස්කොට්ලන්ත පන්දුයවන්නන් අසරණ කරවමින්.

ස්කොට්ලන්ත පන්දු යවන්නන් හට දවා ගත හැකි වූයේ කඩුළු 04ක් පමණක්වන අතර පන්දුවට පහර දුන් සියළුම ක්‍රීඩකයින් ඉතා ආක්‍රමණශීලී ලෙස පහරවල් එල්ල කරන ආකාරය දක්නට ලැබුණා.

ඇෆ්ඝන් ඉනිමෙහි වැඩිම ලකුණු ලාභියා වූ නජිබුල්ලා සාඩ්රාන් පන්දු 34කට ලකුණු 59ක් රැස් කළා.

ඔහුගේ ඉනිමට හයේ පහර 03කුත් හතරේ පහර 05කුත් අන්තර්ගත වූවා.

හයේ පහර 04ක් සහ එක් හතරේ පහරක් එල්ල කළ රහ්මතුල්ලා ගුර්බාස් ලකුණු 46 යි.

හස්රතුල්ලා සාසායි ලකුණු 44ක් ලබා ගද්දී මොහමඩ් ෂාසාඩ් ලකුණු 22ක් ලබාගත්තා.

තරගය අවසන් වෙද්දී නොදැවී ක්‍රීඩා කළ නායක මොහමඩ් නබි ලකුණු 11යි.

නියමිත පන්දුවාර 20 අවසන් වෙද්දී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම කඩුළු 04ක් දැවී 190ක දැවැන්ත ලකුණු ප්‍රමාණයක් රැස් කළා.

දැවැන්ත ඉලක්කය

ඒ අනුව ස්කොට්ලන්තයට ලැබුණේ ලකුණු 191ක ඉතා අසීරු ඉලක්කයක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ස්කොට්ලන්ත ආරම්භක පිතිකරුවන් පළමු පන්දුවාර 03 තුළ හොඳ ලකුණු ලබාගැනීමේ වේගයක් පවත්වාගත්තත් එය වෙනස් වූයේ  ඇෆ්ඝන් දඟ පන්දු යවන ක්‍රීඩක මුජීබ් අර් රහ්මාන් හමුවේ යි.

ඉන් අනතුරුව ස්කොට්ලන්ත ඉනිමේ වැටීම ආරම්භ වූවා.

ඉනිමේ කඩාවැටීම

ස්කොට්ලන්ත ලකුණූ පුවරුවෙහි 28 සටහන්ව තිබියදී පළමු කඩුළු තුනම දවා ගැනීමට රහ්මාන් සමත් වුණා.

ඉන් අනතුරුව පන්දු යැවූ නවීන් උල් හක් සිව්වැනි කඩුල්ල දවාගද්දී ස්කොට්ලන්තය ලබා සිටියේ ලකුණු 30ක් පමණ යි.

පළමු කඩුළු 03ම දවාගත් මුජීබ් අර් රහ්මාන් යැවූ මීළඟ පන්දුවාරවලට මුහුණ දීමට ද ස්කොට්ලන්ත පිතිකරුවන්ට අසීරු වූ අතර රහ්මාන්ගේ පන්දුවක් හමුවේ 05 වැනි කඩුල්ල බිඳී ගියේ ස්කොට්ලක්ත මුලු ලකුණු ගණන 36 වෙද්දී යි.

ඉන් මොහොතකට පසු ඇෆ්ඝනිස්තාන සුපිරි තරුව වන රෂීඩ් ඛාන් පන්දු යැවීමට පටන්ගත් අතර මුලු ලකුණු ගණන 38 වෙද්දී ස්කොට්ලන්ත 06 වැනි කඩුල්ල දවා ගැනීමට ඔහු සමත් වුණා.

දිනය තුළ තමන් ලබා ගත් 05 වැනි කඩුල්ල ලෙස මුජීබ් අර් රහ්මාන් ස්කොට්ලන්ත 07 වැනි කඩුල්ල ද දවා ගත්තා.

එවිට ස්කොට්ලන්තය ලබා ගෙන සිටි ලකුණූ ගණන 45ක්.

ස්කොට්ලන්ත පිතිකරුවන් ඉතා අසීරු ලෙස ලකුණූ 53ක් රැස් කර සිටිය දී රෂීඩ් ඛාන් යළි පන්දු යැවූ අතර 08 වැනි කඩුල්ල ඔහු දවා ගත්තා.

ඉන් නොනැවතුණු අවසන් කඩුළු දෙක ද දවා ගත්තේ ස්කොට්ලන්ත ලකුණු පුවරුවේ 60 සටහන් වෙද්දි යි.

ඒ අනුව පන්දුවාර 10යි පන්දු 2ක් තුළ සියළු දෙනා දැවී ගොස් ස්කොට්ලන්තයට ලබා ගත හැකි වූයේ ලකුණු 60ක් පමණ යි.

වාර්තාගත ජයග්‍රහණය

ඇෆ්ඝනිස්තානය තරගය දැවැන්ත අයුරින් ජයගත්තේ ලකුණු 130කින්.

එය වාර්තා ගත වූයේ පන්දුවාර විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ දී තරගයක් වැඩිම ලකුණු ගණනකින් ජයගත් තුන්වැනි අවස්ථාව ලෙස යි.

එමෙන්ම මෙම තරගාවලිය තුළ එක් කණ්ඩායමක් එක් ඉනිමක් තුළ ලබා ගත් වැඩිම ලකුණු ගණන වන්නේ ද ඇෆ්ඝනිස්තානය අද ලබාගත් ලකුණු 190 යි.

තව ද ෂාජා පිටියේ දී පන්දුවාර 20 තරගයක් තුළ කණ්ඩායමක් ලබා ගත් දෙවැනි වැඩිම ලකුණු ප්‍රමාණය වන්නේ ද අද ඇෆ්ඝනිස්තානය ලබාගත් ලකුණු ප්‍රමාණය යි.

ෂාජා පිටියේ වැඩිම විස්සයි විස්ස ලකුණූ ප්‍රමාණයට ද හිමිකම් කියන්නේ ඇෆ්ඝනිස්තානයවන අතර එය 215ක්.

2016 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඔවුන් එම වාර්තාව සටහන් කළා.

මෙම තරගය අවසානයත් සමග සුපිරි 12 දෙනාගේ පුවරුවෙහි වැඩිම ලකුණු ලබා ගැනීමේ වේගයක් සටහන් කරගැනීමට ඇෆ්ඝනිස්තානය සමත් වුණා.

එම අගය +6.500ක්.

එය පළමු සහ දෙවැනි කාණ්ඩ දෙකෙන්ම වැඩිම ලකුණු ලබාගැනීමේ වේගය යි.

ඊයේ තරගයේ වීරයා බවට පත් වූයේ ලකුණු 20කට කඩුළු 05ක් දවා ගත් මුජීබ් අර් රහ්මාන්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 October 2021 09:31