April 19, 2024

දකුණු ආසියාව ඉවතට! ලෝක කුසලානය අසල්වැසියන්ගේ සටනක් වෙයි!

November 12, 2021

මෙවර පන්දු වාර 20 ලෝක කුසලානයේ අවසාන මහා තරගයට සහභාගීවන දෙවැනි කණ්ඩායම කුමක්දැයි ඊයේ (11) මැදියම් රෑ ආසන්න වෙද්දී තීරණය වූවා.

ඒ දෙවැනි අවසන් පූර්ව තරගය නිමා වීමත් සමග යි.

ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර පැවැති තරගය ආරම්භ වූයේ ඒවන විට එක වරක් හෝ මෙම තරගාවලිය අතරතුර පරාජයට පත් නොවූ කණ්ඩායම ලෙස පාකිස්තානය වාර්තා අතර සිටින පසුබිමක යි.

තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ ඔස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් විසින්.

ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

පාකිස්තාන ඉනිම

ඒ අනුව පිටියට පිවිසි පාකිස්තාන ආරම්භක පිතිකරුවන් යුගලයවන නායක බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් එක්ව ලකුණූ 71ක සබඳතාවක් ගොඩ නැගුවේ පාකිස්තාන ඉනිම ශක්තිමත් ලෙස ගොඩ නගමින්.

කෙසේ වෙතත් තරගයේ 10 වැනි පන්දු වාරයේ දී ලකුණු 39ක් ලබා සිටි බාබර් අසාම් දවා ගන්නට ඇඩම් සම්පා සමත් වූවා.

මීලඟ කඩුල්ල වෙනුවෙන් රිස්වාන් සහ ෆකර් සමාන් පිහිටවූ සබඳතාව ද ඊට දෙවෙනි වූයේ නැහැ.

ඔවුන් දෙදෙනා එක්ව පන්දු 46ක් තුළ ලකුණු 72ක සබඳතාවක් ගොඩ නැගුවා.

එම සබඳතාව බිඳී ගියේ පාකිස්තාන මුලු ලකුණු ගණන 143ක් වෙද්දී 18 වැනි පන්දු වාරයේ දී මොහොමඩ් රිස්වාන්ගේ කඩුල්ල දවා ගැනීමට මිචෙල් ස්ටාක් සමත් වීමත් සමගින්.

රිස්වාන් ලකුණු 67ක් රැස් කළා.

මීලඟ පිතිකරු වූ අසීෆ් අලී හට කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි වූ අතර ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේ පැට් කමින්ස්ගේ පන්දුවාරයක දී යි.

ෂොයීබ් මලික් හට ද මුහුණ දීමට හැකි වූයේ පන්දු 02කට පමණයි.

මිචෙල් ස්ටාක් විසින් ඔහු දවා ගත්තේ එක් ලකුණක් පමණක් ලබා සිටිය දී යි.

කෙසේ වෙතත් ෆකර් සමාන් ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වූ අතර නියමිත පන්දු වාර 20 අවසන් වෙද්දී ඔහු නොදැවී ලකුණූ 55ක් රැස් කරගෙන සිටියා.

පන්දු 32ක් පමණක් වැය වුණු ඔහුගේ ඉනිමට හයේ පහර 04ක් සහ හතරේ පහර 03ක් ඇතුළත් වූවා.

කඩුලු 04ක් දැවී පාකිස්තාන පිතිකරුවන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 176ක්.

ඒ අනුව ඔස්ට්‍රේලියාවට ලකුණු 177ක ඉලක්කයක් ලැබී තිබුණා.

කැන්ගරු පිළිතුරු ඉනිම

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඔස්ට්‍රේලියානුවන්ට පළමු පන්දුවාරයේ දීම දැඩි පීඩනයක් ගෙන දීමට පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක ෂාහීන් අෆ්‍රිඩි සමත් වුණා.

ඒ, ඉනිමෙහි දෙවැනි පන්දුවේදීම ඔස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් ලකුණු 0කට දවා ගැනීමෙන්.

කෙසේ වෙතත් ඩේවිඩ් වෝනර් සහ මිචෙල් මාෂ් එක්ව ඉවසිලිවන්තව ගොඩනැගූ ලකුණූ 51ක සබඳතාවෙන් එම පීඩනය තරමක් මගහැරී ගියා.

එහෙත් ෂබාබ් ඛාන් විසින් යැවූ 07 වැනි පන්දු වාරයේ දී ලකුණූ 28ක් ලබා සිටි මාෂ් දැවී යාමත් සමග එම සබඳතාව බිඳී ගියා.

මීලඟ පිතිකරු වූ ස්ටීව් ස්මිත් හට ලබා ගත හැකි වූයේ ලකුණු 05ක් පමණ යි.

එම කඩුල්ල ද බිඳ හෙලුවේ ෂබාබ් ඛාන් විසින්.

වෝනර්ගේ දැවී නොදැවී යාම

ඉනිමෙහි 10 වැනි පන්දු වාරය නිමා වෙද්දී පාකිස්තානයට හිසරදයක් වෙමින් අර්ධ ශතකය අබියස සිටි ඩේවිඩ් වෝනර්ව ද දවා ගැනීමට ෂබාබ් ඛාන් සමත් වූයේ පාකිස්තාන ක්‍රීඩා ලෝලීන්ගේ ජය ඝෝෂා මධ්‍යයේ යි.

කෙසේ වෙතත් එය සැබැවින්ම දැවී යාමක් නොවන බව පසු දර්ශන ඔස්සේ අනාවරණය වුවත්, ඒවන විට ප්‍රමාද වැඩි වී තිබුණා.

පන්දු 30ක් තුළ වෝනර් ලකුණූ 49ක් ලබා ගත්තේ හයේ පහර සහ හතරේ පහර 03 බැගින් එල්ල කරමින්.

ඉන් පන්දු කිහිපයකට පසු ග්ලේන් මැක්ස්වෙල් ලකුණූ 07කට දැවී ගියේ තරගය පාකිස්තානය වෙත හරවමින්.

ඒවන විට ඉනිමෙහි 13 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වූ අතර ලකුණු 96ක් තුළ කඩුළු 05ක් බිඳ වැටී තිබුණේ ඔස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයන්ට පරාජයේ අමිහිර පෙන්වමින්.

වේඩ් සහ ස්ටෝනිස් එක්වෙයි

පන්දු 46කින් ලකුණූ 81ක් ලබා ගැනීමට සිදුව තිබූ එම අවස්ථාවේ දී නව පිතිකරුවන් යුගලක් ලෙස පිටියට ආ මැතිව් වේඩ් සහ මාකස් ස්ටෝනිස් ඔස්ට්‍රේලියානු ඉනිම ජයග්‍රාහී ඉලක්කය වෙත ඔසවාගෙන යාම සඳහා පිඹුරුපත් සැකසූවා.

වේඩ් වේගවත් ලකුණු රැස් කිරීමක නිරත වූ අතර ස්ටෝනිස් ඉවසිලිවන්ත ලෙස ඔහුට සහය වූවා.

දෙදෙනා එක්ව නොදැවී ගොඩනැගුවේ ලකුණු 81ක දැවැන්ත ලකුණූ සබඳතාවක්.

ඒ පන්දු 41ක් තුළ යි.

ශක්තිමත් ලෙස ඉදිරියට ඇදුණු එම දෙදෙනා ඔස්ට්‍රේලියාව වැටී තිබූ අසීරු අවස්ථාවෙන් ගොඩ ගැනීමට සමත් වූවා.

ජයග්‍රහණය

පන්දු 07කින් ලකුණූ 06ක් ලබා ගැනීම දක්වා සිය ඉලක්කය කෙටි කර ගැනීමට ඔවුන්ට හැකි වූ අතර 19 වැනි පන්දු වාරයේ අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කරමින් මැතිව් වේඩ් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා එසවූයේ මෙවර පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය වෙත ඔස්ට්‍රේලියාව රැගෙන යමින්.

ඒ අනුව කඩුලු 05ක් දැවී ලකුණූ 177ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියාව තරගය ජය ගත්තේ කඩුළු 05කින්.

ඒ තවත් පන්දු 06ක් ඉතිරිව තිබියදී යි.

මාකස් ස්ටෝනිස් නොදැවී ලකුණු 40ක් ද මැතිව් වේඩ් නොදැවී ලකුණූ 41ක් ද රැස් කළා.

වේඩ්ගේ ඉනිම සඳහා වැය වූයේ පන්දු 17ක් පමණක් වීම ද විශේෂත්වයක්.

තරගයේ වීරයා සම්මානයෙන් ද මැතිව් වේඩ් පිදුම් ලැබුවා.

අසල්වැසියන්ගේ සටන

ඔස්ට්‍රේලියාව මෙම තරගය ජය ගැනීමත් සමග පාකිස්තානය මෙතෙක් මෙම තරගාවලිය තුළ තබා තිබූ අපරාජිත වාර්තාව බිඳවැටුණා පමණක් නොව ඔවුන්ගේ ලෝක කුසලාන සිහිනය ද බොඳව ගියා.

එමෙන්ම අවසාන මහා තරගය වෙත යාමට අවස්ථාවක් හිමිකරගෙන සිටි එකම දකුණු ආසියානු කණ්ඩායම ද තරගාවලියෙන් ඉවත් වූවා.

ඒ අනුව අනිද්දා (14) දිනයේ පැවැත්වෙන අවසාන මහා තරගයේ දී, අසල්වැසි රටවල් දෙකක්වන නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව ලෝක කුසලානය හිමිකරගැනීම සඳහා එකට ගැටෙන්නට නියමිත යි.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 November 2021 08:07