May 11, 2024

B කාණ්ඩයේ තරග අවසන්! සුපිරි 12 වටයට තවත් කණ්ඩායමක් තේරෙයි!

මෙවර ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයෙහි B කාණ්ඩයෙහි අවසන් තරගය ඊයේ (21) රාත්‍රියේ නිමාවට පත් වුණා.

ස්කොට්ලන්තය සහ ඕමානය අතර පැවැති තරගයෙන් කඩුලු 08ක විශිෂ්ඨ ජයක් ලැබීමට ස්කොට්ලන්තය සමත් වුණේ ඉතිහාසයේ පළමු වරට සුපිරි 12 දෙනාගේ වටයට තේරී පත් වෙමින්.

ඒ අනුව B කාණ්ඩයෙන් තරග වැදුණු ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය සුපිරි 12 වටයේ සිය ස්ථානය මේවන විට වෙන් කොටගෙන අවසන්.

අනෙක් පසින් ගත් කල පැපුවා නිව් ගිනි කණ්ඩායමට සහ ඕමාන කණ්ඩායමට මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ ගමනට තිත තැබීමට සිදු වුණා.

B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ස්කොට්ලන්තය සමත් වූයේ එක් තරගයක් හෝ පරාජයට පත් නොවෙමින්.

වෙනත් ආකාරයකින් කිවහොත් තරග වැදුණු තරග 03න්ම ජය වාර්තා කිරීමට ඔවුන් සමත් වූවා.

විශේෂයෙන් කැපී පෙණුනේ මෙවර තරගාවලියේ තමන් සහභාගී වූ පළමු තරගයෙන්ම ප්‍රබල බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් කිරීමට ස්කොට්ලන්තයට හැකි වීම යි.

මේවන විට B කාණ්ඩයේ ඉහළින්ම වැජඹෙන ස්කොට්ලන්තය ප්‍රසාද ලකුණු 06ක් ලබා සිටිනවා.

ඔවුන්ගේ දල ලකුණු ලබා ගැනීමේ වේගය +0.775ක්.

දෙවැනි ස්ථානයේ පසුවන බංග්ලාදේශය ප්‍රසාද ලකුණු 04ක් ලබා සිටින්නේ දල ලකුණු ලබාගැනීමේ වේගය +1.733ක් බවට පත් කරගනිමින්.

ඕමාන කණ්ඩායම එක් තරගයක් ජය ගෙන ප්‍රසාද ලකුණු 02ක් ලබාගත් නමුත් තරග සියල්ල පරාජයට පත් වූ පැපුවා නිව් ගිනියාව හට එක් ප්‍රසාද ලකුණකට හෝ හිමි කම් කීමට හැකි වූයේ නැහැ.

අද තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ඕමාන නායකයා විසින්.

ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට යි.

ඒ අනුව පිටියට පිවිසි ඕමාන පිතිකරුවන්ට ශක්තිමත් ඉලක්කයක් වෙත යාමට ස්කොට්ලන්ත ක්‍රීඩකයන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු වාර විස්ස අවසානයේ සියලු දෙනාම දැවී ඕමානය ලබා ගත්තේ ලකුණූ 122ක් පමණයි.

අඛීබ් ඉල්යාස් ලකුණු 37ක් ද, සීශාන් මක්සූඩ් ලකුණු 34ක් ද ලබා ගත් අතර මොහමඩ් නදීම් ලකුණු 25ක් ලබා ගත්තා.

අනෙකු එකදු ක්‍රීඩකයෙකු හෝ ලකුණු අතරට පැමිණියේ නැහැ.

ස්කොට්ලන්තය වෙනුවෙන් ජෝෂ් ඩේවි ලකුණු 25කට කඩුලු 03කුත්, මයිකල් ලීස්ක් ලකුණු 13කට කඩුලු 02කුත්, සෆ්යාන් ශරීෆ් ලකුණූ 25කට කඩුලු 02කුත් දවා ගනිද්දී මාක් වැට් එක් කඩුල්ලක් දවා ගත්තේ ලකුණු 23ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ස්කොට්ලන්ත පිතිකරුවන් කඩුළු 02ක් පමණක් දැවී නියමිත ඉලක්කය වූ ලකුණු 123 වෙත ගියේ තරගයේ 17 වැනි පන්දු වාරයේ දී යි.

නායක කයිල් කොට්සර් ලකුණු 41ක් ලබා ගත් අතර ඔහුගේ ඉනිමට හයේ පහර 03ක් සහ හතරේ පහර 02ක් ඇතුලත් වූවා.

රිචී බෙරිංටන් නොදැවී ලකුණු 31ක් ලබා ගනිද්දී මැතිව් ක්‍රොස් නොදැවී ලකුණු 26ක් වාර්තා කළා.

ජෝජ් මන්සි ලකුණු 20 යි.

මේ අතර සුදුසුකම් ලබන වටය යටතේ පැවැත්වෙන A කාණ්ඩයේ අවසන් තරග දෙක හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු තරගය නැමීබියාව සහ අයර්ලන්තය අතරත් දෙවැනි තරගය ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතරත් පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවට අමතරව සුපිරි 12 දෙනා අතරට පිවිසෙන A කාණ්ඩයේ කණ්ඩායම කුමක් ද යන්න හෙට දිනයේ දී තීරණයවනු ඇති.

ප්‍රසාද ලකුණු 04ක් ලබා A කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින ශ්‍රී ලංකාව දැනටමත් සුපිරි 12 දෙනාගේ වටයට තේරී අවසන්.

දෙවැනි ස්ථානයේ සිටින අයර්ලන්තයත්, තෙවැනි ස්ථානයේ සිටින නැමීබියාවත් ප්‍රසාද ලකුණු 02 බැගින් ලබා සිටිනවා.

නෙදර්ලන්තය එකදු ප්‍රසාද ලකුණක් හෝ ලබා නොසිටින්නේ මෙතෙක් තමන් සහභාගී වූ තරග දෙකම පරාජයට පත් වූ නිසා යි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 22 October 2021 09:48