May 20, 2024

ඊයේ ශ්‍රී ලංකා වාර්තාව අද කැඩූ බංගලියෝ සුපිරි 12ට පිවිසෙයි

මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයෙහි තවත් තීරණාත්මක තරගයක් මීට සුළු මොහොතකට පෙර අවසන් වූවා.

ඒ බංග්ලාදේශය සහ පැපුවා නිව් ගිනියාව අතර තරගය යි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායක මහමදුල්ලා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට යි.

ඒ අනුව බංග්ලාදේශ පිතිකරුවන් නියමිත පන්දු වාර 20 ඇතුළත කඩුළු 07ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 181ක්.

එය මෙම තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් විසින් එක් ඉනිමක් තුළ වාර්තා කළ වැඩිම ලකුණූ ගණන යි.

මීට පෙර කණ්ඩායමක් විසින් එක් ඉනිමක් තුළ ලබා ගත් වැඩිම ලකුණු ගණන වූයේ ඊයේ (20) පැවැති තරගයේ දී ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 171 යි.

අද (21) තරගයේ දී බංග්ලාදේශ ඉනිමෙහි වැඩිම ලකුණූ ලාභියා වූ නායක මහමදුල්ලා ලකුණු 50ක් ලබා ගත්තේ පන්දු 28ක් පමණක් වැය කරමින්.

ශකීබ් අල් හසන් ලකුණූ 46කට දැවී ගියා.

බංග්ලාදේශ කණ්ඩායමේ භයානක පිතිකරුවෙකු ලෙස සැළකෙන මුෂ්ෆිකර් රහීම් මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී දිගින් දිගටම අසාර්ථක වූ අතර අද දිනයේ ද ඔහු ලකුණූ 05කට දැවී යාම විශේෂත්වයක්.

බංග්ලාදේශ ඉනිම නිමා වූ පසු ලැබුණු ලකුණු 182ක දැවැන්ත ඉලක්කය වෙත මඳක් හෝ ලඟාවන්නට පැපුවා නිව් ගිනි පිතිකරුවන්ට ඉඩ ලබා දීමට බංග්ලාදේශ පන්දු යවන්නන් කටයුතු කළේ නැහැ.

පැපුවා නිව් ගිනි පිතිකරුවන් සියලු දෙනාම පාහේ ඉතාමත් අඩු ලකුණූ ගණනට දැවී යද්දී කිප්ලින් ඩොරීගා පමණක් තනිව සටනක නිරත වූවා.

ඔහු නොදැවී ලබා ගත් ලකුණු ගණන 46ක්.

තරගයේ අවසාන පන්දුවාරයේ දී පැපුවා නිව් ගිනි කණ්ඩායමේ අවසන් කඩුල්ල ද බිඳවැටුණු අතර ඒ අනුව ඔවුන් සියළු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 97ක් පමණ යි.

බංග්ලාදේශය තරගය ලකුණු 84කින් විශිෂ්ඨ ලෙස ජය ගත්තා.

එමෙන්ම මෙම තරග ජයත් සමග බංග්ලාදේශ කණ්ඩායම B කාණ්ඩයේ සිට සුපිරි 12 දෙනාගේ වටයට තේරී පත් වූවා.

ඊයේ දින අයර්ලන්තය පරදා ලැබූ ජයත් සමග ශ්‍රී ලංකාව ද A කාණ්ඩයේ සිට සුපිරි 12 දෙනාගේ වටය වෙත තේරුණා.

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම් තුනම ප්‍රසාද ලකුණු 04 බැගින් ලබා සිටින නමුත් A සහ B යන කාණ්ඩ දෙකෙන්ම වැඩිම දල ලකුණු ලබා ගැනීමේ වේගය පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම යි.

එය +3.165ක අගයක්.

බංග්ලාදේශයේ එම අගය +1.733ක්වන අතර ස්කොට්ලන්තයේ අගය +0.575ක්.

මේ අතර අද තරගයේ දී ශකීබ් අල් හසන් ලකුණු 09කට කඩුළු 04ක් දවා ගත් අතර ඒ අනුව මේවන තෙක් මෙම තරගාවලියේ වැඩිම කඩුළු ලාභියා ලෙස ඔහු සැළකෙනවා.

ඔහු මේවන විට මෙම තරගාවලිය තුළ කඩුළු 09ක් ලබා සිටිනවා.

ඊයේවන විට වැඩිම කඩුළු ලාභියා බවට පත්ව සිටියේ මහීෂ් තීක්ෂණවන අතර ඔහු මේවන විට ලබා සිටින කඩුළු ගණන 06ක්.

අද දිනයේ දෙවැනි තරගය ඕමානය සහ ස්කොට්ලන්තය අතර පැවැත්වෙන අතර එය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිත යි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 22 October 2021 10:00