May 20, 2024

පළමු තරගය පැරදුණු බංගලියෝ ජාමේ බේරාගනී

මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ දිනයේ පැවැති දෙවැනි තරගය බංග්ලාදේශය සහ ඕමානය අතර පැවැත්වුණා.

ලෝක කුසලාන සිහිනයෙහි තවදුරටත් රැඳී සිටීමට නම් මෙම තරගය බංග්ලාදේශය වෙත අතිශය තීරණාත්මක එකක් වූවා.

ඒ මෙම තරගාවලියේ බංග්ලාදේශය සහභාගී වූ ප්‍රථම තරගය ජය ගැනීමට ස්කොට්ලන්තය සමත් වීම හේතුවෙන්.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක මහ්මදුල්ලා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමටයි.

ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් යුගලයට සැළකිය යුතු ලකුණු සබඳතාවක් ගොඩ නැගීමට ඕමාන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

මුලු ලකුණු ගණන 11ක්ව තිබිය දී බිලාල් ඛාන් යැවූ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී බංග්ලාදේශ පළමු කඩුල්ල ලෙස ලිටෝන් දාස් දැවී ගියේ ලකුණු 06කට යි.

අනතුරුව පිටියට පැමිණි මෙහෙදි හසන්ට ද කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි වූ අතර ඔහු ලකුණූ 0කට දැවී ගියේ, පන්දු යැවූ ෆයාස් බට් විසින්ම රැකගත් අගනා උඩපන්දුවකින්.

ඉන් අනතුරුව ඕමාන පන්දු රැකීමේ අංශයෙහි දුර්වලකම් කිහිපයක්ම දක්නට ලැබුණු අතර උඩපන්දු කිහිපයක්ම ගිලිහී ගියේ තරගයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් සටහන් කරමින්.

එයින් ප්‍රයෝජන ගත් මොහොමඩ් නයීම් සහ ශකීබ් අල් හසන් දෙදෙනා ගොඩනැගූ ලකුණු සබඳතාවය 80ක්.

එම සබඳතාව බිඳී ගියේ දුවද්දී දැවී යාමකට හසු වී ශකීබ් දැවී යාමත් සමගයි.

පන්දු 29කින් ඔහු ලබා ගත් ලකුණු ගණන 42ක්.

මීලඟ පිතිකරු වූ නුරූල් හසන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 03ක් පමණක් වූ අතර සන්දීප් ගෞඩ් විසින් රැකගත් උඩ පන්දුවකින් ඔහු දැවී ගියා.

අෆීෆ් හුසේන් ද එක් ලකුණකට දැවී ගියේ තනිව සටනක් දෙමින් සිටි මොහොමඩ් නයීම්ට කිසිදු සහයක් නොදෙමින්.

කෙසේ වෙතත් මීලඟ කඩුල්ල ලෙස නයීම් දැවී යද්දී ඔහු ලකුණු 64ක් රැස් කර සිටියේ බංග්ලාදේශ ඉනිමෙහි වැඩිම ලකුණුලාභියා බවට පත් වෙමින්.

නව පිතිකරුවන් ලෙස පිටියට පිවිසි බංග්ලාදේශ ප්‍රබලයින් දෙදෙනෙකුවන නායක මහ්මදුල්ලා සහ මුෂ්ෆිකර් රහීම් සිය කණ්ඩායමේ මුලු ලකුණු ගණන ඔසවා තැබීමට ගත් උත්සාහය ද ව්‍යර්ථ වූයේ ලකුණූ 06ක් පමණක් ලබා සිටි රහීම් උඩපන්දුවක් ලබා දෙමින් දැවී යාමත් සමග යි.

මීළඟට පැමිණි මොහොමඩ් සයිෆුඩීන් හට කිසිදු ලකුණක් ලබා ගත නොහැකි වූවා.

ලකුණූ ලබා ගැනීමෙහි යම් උත්සාහයක නිරතව සිටි නායක මහ්මදුල්ලා පන්දු 09ක දී ලකුණු 17ක් රැස් කළ නමුත් පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදී ඔහු දැවී ගියේ ඉනිමෙහි අවසන් පන්දුවාරයේ දී යි.

ඉනිමෙහි අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කිරීමට, ලකුණු 02ක් ලබා සිටි මුස්ටෆිසුර් රහ්මාන් උත්සහ දැරූවත් එය ද උඩපන්දුවක් බවට පත් වී ජතින්දාර් සිංගේ අතට පත් වූවා.

අනෙක් පස සිටි ටස්කින් අහ්මඩ් නොදැවී ලබාගෙන සිටියේ එක් ලකුණක් පමණයි.

ඒ අනුව පන්දුවාර 20 අවසානයේ බංග්ලාදේශ පිතිකරුවන් සියළු දෙනාම දැවී ලකුණු 153ක් ලබා ගත්තේ ඕමානයට ලකුණු 154ක ඉලක්කයක් ලබා දෙමින්.

ඕමාන පිළිතුරු ඉනිමේ දෙවැනි පන්දුවාරයේ දීම පළමු කඩුල්ල දැවී ගියේ මුලු ලකුණු ගණන 13ක් ලෙස සටහන් වෙද්දී යි.

ලකුණු 06ක් ලබා සිටි අඛීබ් ඉල්යාස් එලෙස දැවී ගියේ මුස්ටෆිසුර් රහ්මාන්ගේ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමෙන්.

දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 34ක සබඳතාවක් ගොඩ නැගීමට ජතින්දර් සිං සහ කාෂ්‍යප් ප්‍රජාපතී සමත් වූවත්, මුලු ලකුණු ගණන 47 වෙද්දී ප්‍රජාපති දැවී ගියේ ලකුණූ 21කට යි.

යළිත් ලකුණු 34ක සබඳතාවක් ගොඩ නැගීමට සීෂාන් මක්සූඩ් සමග එක්ව ජතින්දර් සිං සමත් වූවා.

තෙවැනි කඩුල්ල ලෙස ලකුණු 12ක් ලබා සිටි මක්සූඩ් දැවී ගියේ මුලු ලකුණු ගණන 81ක් බවට පත්වන විට යි.

තරගය ජයග්‍රහණය කරා ගෙන යාමේ සිහිනය හිසට ගෙන සිටි එකම ඕමාන ක්‍රීඩකයා ලෙස පෙනුනු ජතින්දර් සිං ද ලකුණු 40කට දැවී ගියේ ඕමානයේ ජයග්‍රහණය සිහිනයක්ම පමණක් බවට පත් කරවමින්.

ඉන් පසුව පැමිණි කිසිදු ක්‍රීඩකයෙකුට සාර්ථක වීමට බංගලි පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

සන්දීප් ගෞඩ් ලකුණු 04කටත්, අයාන් ඛාන් ලකුණු 09කටත් නසීම් කුෂී ලකුණු 04කටත් දැවී යද්දී පිතිකරණ ලැයිස්තුවේ අවසන් භාගයේ සිටි ඉතිරි ක්‍රීඩකයින්ට කළ හැකි යමක් ඉතිරිව තිබුණේ නැහැ.

කලීමුල්ලා ලකුණු 05කට දැවී යද්දී ෆයියාස් බට් දැවී ගියේ කිසිදු ලකුණක් නොලබා යි.

නොදැවී ඉතිරි වූ මොහොමඩ් නදීම් ලකුණු 14ක් ලබා සිටි අතර බිලාල් ඛාන් හට ලකුණු ලබාගත නොහැකි වූවා.

නියමිත පන්දුවාර 20 අවසන් වෙද්දී ඕමාන පිතිකරුවන්ට කඩුළු 09ක් දැවී ලබා ගත හැකි වූ ලකුණු ගණන 127ක්.

ඒ අනුව බංග්ලාදේශය ලකුණු 26කින් තරගය ජයගත්තේ තව දුරටත් ලෝක කුසලාන බලාපොරොත්තුවේ රැඳී සිටිමින්.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 20 October 2021 13:21