May 12, 2024

තරගාවලියේ ඉහළම ලකුණු ගණන වාර්තා වෙයි

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තවත් තීරණාත්මක තරග දෙකක් ඊයේ (19) දිනයේ පැවැත්වුණා.

ඒ ස්කොට්ලන්ත - පැපුවා නිව් ගිනි තරගය සහ ඕමාන - බංග්ලාදේශ තරගය යි.

ප්‍රථමයෙන් පැවැත්වුණු ස්කොට්ලන්ත - පැපුවා නිව් ගිනි තරගය ජය ගැනීමට ස්කොට්ලන්තය සමත් වූවා.

ඒ මෙම තරගාවලියේ දී වැඩිම තරග ජය සංඛ්‍යාවක් (02) වාර්තා කළ කණ්ඩායම බවට පත් වෙමින්.

එමෙන්ම මෙම ජයත් සමග B කාණ්ඩයේ ඉහළට ස්ථානයට පැමිණීමට ස්කොට්ලන්තය සමත් වී ඇත්තේ ප්‍රසාද ලකුණු 04ක් ද සමගින්.

කාසියේ වාසිය දිනාගත් ස්කොට්ලන්ත නායකයා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට යි.

ඒ අනුව පිටියට පිවිසි ස්කොට්ලන්තයේ ප්‍රථම කඩුළු දෙක ලකුණු 26ක් තුළ දවා ගැනීමට පැපුවා නිව් ගිනි පන්දු යවන්නන් සමත් වූවා.

කෙසේ වෙතත් ඉන් අනතුරුව තත්ත්වය වෙනස් වූයේ රිචී බෙරිංටන් සහ මැතිව් ක්‍රොස් එක්ව තෙවැනි කඩුල්ල සඳහා ගොඩ නැගූ ලකුණු 92ක සබඳතාවත් සමග යි.

එම අගනා ලකුණු සබඳතාව බිඳී ගියේ අර්ධ ශතකයකට ලකුණු 05ක් ඉතිරිව තිබියදී මැතිව් ක්‍රොස් ලකුණු 45කට දැවී යාම හේතුවෙන්.

ස්කොට්ලන්ත ඉනිමෙහි වැඩිම ලකුණු ලාභියා වූ රිචී බෙරිංටන් ලකුණු 70කට දැවී ගියා.

නියමිත පන්දුවාර 20 අවසානයේ දී ස්කොට්ලන්ත කණ්ඩායම කඩුළූ 09ක් දැවී ලකුණූ 165ක් ලබා ගත්තා.

එය මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී මෙතෙක් කණ්ඩායමක් විසින් ලබා ගත් වැඩිම ලකුණු ගණන යි.

ලැබී තිබූ 166ක ඉලක්කය හඹායාමට පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පැපුවා නිව් ගිනි පිතිකරුවන්ට ස්කොට්ලන්ත පන්දුයවන්නන් හට මුහුණ දීම එතරම් පහසු වූයේ නැහැ.

පැපුවා නිව් ගිනියාවේ පළමු කඩුළු පහ දැවී ගියේ ලකුණු 35ක් තුළ යි.

පිතිකරුවන් සියල්ලෝම අසාර්ථක වෙද්දී පැපුවා නිව් ගිනි වැඩිම ලකුණු ලාභියා වූ නෝමර් වනුවා අර්ධ ශතකයට ලං වූවත් එය ඔහුට මගහැරුණේ ලකුණු 03කින්.

ලකුණු 47කට ඔහු දැවී ගිය අතර සෙසේ බවු ලකුණු 24ක් ලබා ගත්තා.

තරගයේ අවසන් පන්දු වාරයේ දී කඩුළු සියල්ලම දැවී පැපුවා නිව් ගිනියාවට ලබාගත හැකි වූයේ ලකුණු 148ක් පමණයි.

ඒ අනුව ස්කොට්ලන්තය තරගය ජය ගත්තේ ලකුණු 17 කින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 20 October 2021 09:33