May 12, 2024

නයි නැටුම් දියවෙයි! උඩඟු බංගලියන් හඬා වැටෙයි!

2021 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය ඊයේ (17) ආරම්භ වූවා.

ඊයේ දිනයේ පැවැති පළමු තරගයේ දී පැපුවා නිව් ගිනි කණ්ඩායම පරදා ඕමාන කණ්ඩායම ජයගත් අතර දෙවැනි තරගය රාත්‍රියේ දී පැවැත්වුණේ බංග්ලාදේශ කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර යි.

ස්කොට්ලන්තයට සාපේක්ෂව ප්‍රබල කණ්ඩායමක් වූ බංග්ලාදේශයේ ජයග්‍රහණය දෙස සියළු දෙනා බලා සිටියත් තරගය උඩුයටිකුරු කරන්නට ස්කොට්ලන්තය සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායක මහ්මදුල්ලා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

ඒ අනුව පිටියට පිවිසි ස්කොට්ලන්ත පිතිකරුවන්ට ලකුණු ලබාගැනීම යනු සිහිනයක්ම වූවා.

බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ ස්කොට්ලන්ත පිතිකරුවන් ඒ තරමටම අසරණ වූයේ කල් වේලා ඇතුව බංග්ලාදේශයේ ජය තහවුරු කිරීමට වාගේ යි.

තරගයේ තුන්වැනි පන්දු වාරයේ දී ස්කොට්ලන්ත පළමු කඩුල්ල දැවී ගියේ මුලු ලකුණූ ගණන 05ක් ලෙස සටහන්ව තිබියදී යි.

ඉන් අනතුරුව යම් සබඳතාවක් ගොඩ නගන්නට ස්කොට්ලන්ත පිතිකරුවන් සමත් වුවත් මුලු ලකුණු ගණන 45ක්ව තිබිය දී දෙවැනි කඩුල්ල ද දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වූවා.

ඊට සුළු වේලාවකට පසු තුන්වැනි කඩුල්ලත් දැවී ගියේ මුලු ලකුණු ගණන 46ක් වන විට යි.

තරගයේ 11 වැනි පන්දුවාරයේ දී සිව්වැනි කඩුල්ල මෙන්ම පස්වැනි කඩුල්ල ද බිඳ වැටුණූ අතර ඒවන විට ස්කොට්ලන්තය ලබා සිටි ලකුණු ගණන 52ක්.

11 වැනි පන්දුවාරය නිමා වීමටත් පෙර, ලකුණු ගණන 53ක් වෙද්දී ස්කොට්ලන්තයේ 06 වැනි කඩුල්ල ද දැවී ගියේ සියළු දෙනාගේ බලාපොරොත්තු බංග්ලාදේශය වෙතට හරවමින්.

කෙසේ වෙතත් බංග්ලාදේශ ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩා පිටිය පුරා ජය සමරද්දී ඒ ගැන නොසිතා සිය වගකීම පමණක් සිතෙහි තබාගෙන පිටියට පිවිසි ක්‍රිස් ග්‍රේව්ස් බංගලි පන්දු යවන්නන්ට නොසිතූ පරිදි හිසරදයක් වීමට ගත වූයේ විනාඩි කිහිපයක් පමණයි.

අනෙක් පස ක්‍රීඩා කළ මාක් වැට් ද ග්‍රේව්ස්ට අනගි සහයක් ලබා දුන්නේ කෙසේ හෝ සිය මුලු ලකුණු ගණන 100 ඉක්මවවීමට උත්සහ දරමින්.

එම උත්සාහය සාර්තක කරමින් දෙදෙනා එක්ව මුලු ලකුණු ගණන 104 දක්වා රැගෙන ගියත් තරගයේ 17 වැනි පන්දු වාරය නිමා වෙද්දී මාක් වැට් දැවී ගියේ ලකුණු 22ක් ලබා සිටිය දී යි.

කෙසේ වෙතත් සිය බලාපොරොත්තු අත නොහැර ක්‍රීඩා කළ ක්‍රිස් ග්‍රේව්ස් දැවැන්ත 06 පහරවලට පවා යමින් ස්කොට්ලන්ත ලකුණු පුවරුව ඔසවා තබන්නට කටයුතු කළා.

තරගයේ අවසන් පන්දු වාරයේ දී ලකුණු 45කට ග්‍රේව්ස් දැවී යද්දී ස්කොට්ලන්ත මුලු ලකුණු ගණන 131 දක්වා වර්ධනය වී තිබුණා.

ග්‍රේව්ස් සිය ලකුණු 45 ලබා ගැනීමට වැය කර තිබුණේ පන්දු 27ක් පමණක් වීම ද කැපී පෙණුනා.

ඔහුගේ ඉනිමට හයේ පහර 02කුත් හතරේ පහර 04කුත් ඇතුළත් වූවා.

ග්‍රේව්ස්ගේ දැවී යාමෙන් මොහොතකට පසු ජෝෂ් ඩේවිගේ කඩුල්ල ද බිඳ වැටුනේ ස්කොට්ලන්ත ඉනිම ලකුණු 131කට සීමා වේවි යැයි ඉඟි කරමින්.

එලෙස අවසන් වේ යැයි සිතූ ස්කොට්ලන්ත ඉනිමට තවත් ලකුණු 09ක් එකතු කිරීමට බ්‍රැඩ් වේල් සහ සෆ්යාන් ෂරීෆ් කටයුතු කළේ ස්කොට්ලන්ත ක්‍රීඩා ලෝලීන්ගේ සිත් තුළ ජයග්‍රහණය පිළිබඳ යම් බලාපොරොත්තුවක් දල්වමින්.

අවසන් පිතිකරු ලෙස පැමිණි ෂරීෆ් තමන් මුහුණ දුන් පළමු පන්දුවටම එල්ල කළ 06 පහර ද විශේෂයෙන් කැපී පෙණුනා.

නියමිත පන්දුවාර 20 අවසන්වන විට ස්කොට්ලන්ත කණ්ඩායම කඩුළු 09ක් දැවී ලකුණූ 140ක් රැස් කළා.

කෙසේ වෙතත් ප්‍රබල බංග්ලාදේශ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවැසි වූ ලකුණු 141ක ඉලක්කය ස්කොට්ලන්ත පන්දු යවන්නන් හමුවේ සුළු දෙයක් බවට යි ක්‍රීඩා විචාරකයන් පවා සඳහන් කළේ.

නමුත් තමන් තවදුරටත් ආධුනික ක්‍රිකට් කණ්ඩායමක් නොවන බව පෙන්වූ ස්කොට්ලන්තය දෙවැනි පන්දුවාරයේ දී ම පළමු කඩුල්ල දවා ගත්තේ බංග්ලාදේශ මුලු ලකුණු ගණන 08ක් වෙද්දී යි.

ඉන් නොනැවතුණු ස්කොට්ලන්ත පන්දු රකින්නන් සිව්වැනි පන්දු වාරයේ දී දෙවැනි කඩුල්ල ද බිඳ හෙළීමට සමත් වූවා.

ඒ වන විට බංග්ලාදේශය ලබාගෙන සිටියේ ලකුණු 18ක් පමණ යි.

ඉන් අනතුරුව පිටිය මත සිටියේ බංග්ලාදේශයේ ප්‍රබලතම පිතිකරුවන් දෙදෙනෙකුවන ශකීබ් අල් හසන් සහ මුෂ්ෆිකර් රහීම්.

එම දෙදෙනා එක්ව දැවැන්ත ලකුණූ සබඳතාවක් ගොඩනගාවියි විස්තර විචාරකයන් පවා අනාවැකි පළ කළා.

එය සනාථ කරන්නට මෙන් රහීම් දැවැන්ත හයේ පහර කිහිපයක් ද එල්ල කළේ බංග්ලාදේශ ක්‍රීඩා ලෝලීන්ගේ කෑගැසීම් මධ්‍යයේ යි.

කෙසේ වෙතත් මුලු ලකුණු ගණන 65 වෙද්දී ෂකීබ් අල් හසන්ගේ කඩුල්ල මනරම් උඩපන්දුවක් රැකගැනීමෙන් දවා ගැනීමට ස්කොට්ලන්තය සමත් වූවා.

ශකීබ් ලබා සිටියේ ලකුණූ 20ක් පමණයි.

අනතුරුව මුෂ්ෆිකර් රහීම් ද ලකුණූ 38 කට දැවී ගියේ බංග්ලාදේශ ක්‍රීඩා ලෝලීන්ට සිතාගැනීමටත් බැරි අයුරින්.

බංග්ලාදේශ කඩුලු 04ක් මෙලෙස බිඳ වැටුණු පසු ඔවුන්ගේ ලකුණූ ලබා ගැනීමේ වේගය ද ඉතා අඩු මට්ටමකට ඇද දැමීමට ස්කොට්ලන්ත පන්දු යවන්නන් මෙන්ම පන්දු රකින්නන් ද සමත් වූයේ අනාගත ප්‍රබල කණ්ඩායමක සළකුණු සනිටුහන් කරමින්.

මුලු ලකුණු ගණන 106ක්ව තිබිය දී 05 වැනි කඩුල්ල ද දැවී ගිය අතර ඒවන විට බංග්ලාදේශය ජය ගැනීමට නම් පන්දු 16කට ලකුණූ 35ක් ලබා ගත යුතුව තිබුණා.

නායක මහමදුල්ලා සමග එක්ව සිය කණ්ඩායම කෙලෙස හෝ ජයග්‍රහණය වෙත ගෙන යාම අරමුණු කරගෙන පිටියට පිවිසි නුරුල් හසන්ට ද සාර්ථක වීමට ඉඩ ලැබුණේ නැහැ.

ඔහු එල්ල කළ හයේ පහරක් ඉතා දක්ෂ ලෙස උඩපන්දුවක් බවට පත් කරගන්නට කලුම් මැක්ලේඩ් සමත් වූවා.

බංග්ලාදේශ කණ්ඩායමේ 06 වැනි කඩුල්ල එලෙස දැවී යද්දී ඔවුන්ගේ ලකුණූ සටහන දැක්වුණේ 110ක් ලෙසින්.

පරාජය භාර ගැනීමට අකමැති වූ නායක මහමදුල්ලා දැවැන්ත හයේ පහරක් එල්ල කළේ බංග්ලාදේශයේ බලාපොරොත්තුවලට යළි පණ දෙමින්.

කෙසේ වෙතත් දෙවැනි හයේ පහර ද එල්ල කිරීමට ගත් උත්සාහය නුරුල් හසන්ට මෙන්ම ව්‍යර්ථ වූයේ එය ද උඩපන්දුවක් බවට පත් වූ කලුම් මැක්ලේඩ්ගේ දෑතට පතිත වීම නිසා යි.

නියමිත පන්දුවාර ගණන අවසන් වීමට පන්දු දෙකක් පමණක් ඉතිරිව තිබිය දී, තරගය ජයගැනීම සඳහා පන්දු දෙකකට ලකුණූ 12ක ඉලක්කයක් බංග්ලාදේශය වෙත ලැබී තිබුණා.

06 පහර දෙකක් එල්ල කර තරගය ජය ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩක මෙහෙදි හසන් උත්සහ දැරුවත් එය සාර්ථක කර ගැනීමට ස්කොට්ලන්ත ක්‍රීඩක සෆ්යාන් ෂරීෆ් ඉඩ ලබා දුන්නේ නැහැ.

කඩුළු 07ක් දැවී පන්දු වාර 20 අවසන බංග්ලාදේශයට ලබා ගත හැකි වූයේ ලකුණු 134ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ අවසන් වූ තරගය ලකුණූ 06කින් තියුණූ ලෙස ජය ගැනීමට ස්කොට්ලන්තය සමත් වූයේ උඩගු උන්මාදයෙන් නිතර හැසිරෙන බංග්ලාදේශ ක්‍රීඩකයින් මෙන්ම ක්‍රීඩා ලෝලීන් ද නිහඬ කරවමින්.

Image

Rate this item
(5 votes)
Last modified on Monday, 18 October 2021 07:19