May 13, 2024

දින 2343 ක් ලොව අංක එකේ පන්දු යවන්නා පිටියට සමුදෙයි

September 01, 2021

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක “ඩේල් ස්ටේන්” ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන තිබෙනවා. ඩේල් ස්ටේන් අඟහරුවාදා සිය විශ්‍රාම ගැනීම නිවේදනය කළා. ඩේල් ස්ටේන් ජාත්‍යන්තර ක්‍රිකට් කඩුලු 699 ක් දවා ගත් අති දක්ෂ වේග පන්දු යවන්නෙක්. ඔහු ටෙස්ට් කඩුලු 435 ක්, එක්දින කඩුලු 196 ක් සහ විස්සයි 20 කඩුලු 64 ක් දවාගෙන තිබෙනවා. ඩේල් ස්ටේන් සිය විශ්‍රාම ගැනීම නිවේදනය කළේ ට්විටර් වෙබ් අඩවියෙනි. ඉතා හැඟීම්බර සටහනකින් ඩේල් ස්ටේන් සිය කණ්ඩායමේ ක්‍රීඩකයින්ට, සියළුම රසිකයින්ට, පවුලේ අයට සහ මාධ්‍යවේදීන්ට ස්තූති කරමින් විශ්‍රාම ගැනීම ගැන නිවේදනයකර තිබුණා.

ඩේල් ස්ටේන් සිය එක්දින සහ ටෙස්ට් කණ්ඩායම් ජර්සි වල ඡායාරූප කිහිපයක් පළ කරමින් සටහනක් ද ලියා තිබුණා. "අවුරුදු 20 ක පුහුණුව, තරඟ, ගමන්, ජයග්‍රහණ, පරාජයන්, සහෝදරත්වය, සතුට. කීමට බොහෝ මතකයන් ඇත. ස්තූති කිරීමට බොහෝ මුහුණු ඇත. අද මම වඩාත්ම කැමති ක්‍රීඩාවෙන් නිල වශයෙන් විශ්‍රාම ගන්නවා. මට මගේ පවුලට, කණ්ඩායම් ක්‍රීඩකයින්ට ස්තූති කිරීමට අවශ්‍යයි" යනුවෙන් ඔහු සඳහන්කර තිබුණා.

මේ වසරේ ජනවාරි මාසයේදී ඩේල් ස්ටේන් 2021 අයිපීඑල් සඳහා සහභාගී නොවන බව ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, එහිදී ඔහු විශ්‍රාම ගැනීම ගැන කිසිඳු ප්‍රකාශයක් කර තිබුණේ නෑ. ස්ටේන් 2019 අගෝස්තු මාසයේදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තා. ඩේල් ස්ටේන් 2020 දී දකුණු අප්‍රිකානු විස්සයි 20 කණ්ඩායමට තේරී පත් වී විස්සයි 20 ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට තම කැමැත්ත ප්‍රකාශ කළ නමුත් පසුව කොරෝනා වෛරසය ආක්‍රමණය වී 2020 දී T20 ලෝක කුසලානය අවලංගු කිරීමට සිදුවුණා. දැන් T20 ලෝක කුසලානය ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අතර ඊට පෙර මෙම දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කළා.

2003 වසරේ පළමු පෙළ ක්‍රිකට් පිටියට පිවිසි ඩේල් ස්ටේන් වසරක් ඇතුළත දකුණු අප්‍රිකානු කණ්ඩායමට තේරී පත් වූ අතර 2004 වර්ෂයේදී මෙම වේග පන්දු යවන්නා එංගලන්තයට එරෙහිව පෝට් එලිසබෙත් ටෙස්ට් තරගයට පිවිසුණා. 2004 සිට 2005 දක්වා ස්ටේන් ක්‍රීඩා කළේ ටෙස්ට් තරඟ 3 කට පමණක් වන අතර එහිදී ඔහු කඩුලු 8 ක් දවාගත්තා. නමුත් ස්ටේන් තම බලය පෙන්වීමට පටන් ගත්තේ 2006 සිට යි. 2006 වසරේදී ටෙස්ට් තරඟ 6 කදී කඩුලු 24 ක් ද ඊළඟ වසරේ ටෙස්ට් තරඟ 7 කදී කඩුලු 44 ක් ද ස්ටේන් ලබා ගත්තා. 2008 දී ටෙස්ට් තරඟ 13 කදී කඩුලු 74 ක් දවා ගනිමින් ස්ටේන් ලොකු විනාශයක් කිරීමට සමත්වුණා. ඩේල් ස්ටේන් දින 2343 ක් ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා වූ අතර එය ලෝක වාර්තාවකි.

Rate this item
(0 votes)