May 01, 2024

“වසංගතය පාලනය කරන්න ICU ඇඳන් පිරෙනකන් හිටියා” - WHO වෙතින් සැර කතාවක්

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වසංගතය ගෝලීය වසංගතයක් දක්වා වර්ධනය වීමට හේතුව පිළිබඳව සෙවීම සඳහා ස්වාධීන කමිටුවක් පත් කර තිබූ අතර එහි වාර්තාව අද (12) දිනයේ ප්‍රසිද්ධ කර තිබුණි.

මෙහිදී බොහෝ රටවල වසංගත පාලන ක්‍රමවේදයන් සහ අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යයනය කර ඇති අතර එහිදි ස්වාධීන කමිටුව විසින් දුටු අර්බුදයන් සහ දුර්වලතා ඇසුරෙන් මෙම වාර්තාව සකස් කර තිබේ.

මෙම කමිටුවේ සම සභාපතිත්වය දරන නවසීලන්ත හිටපු අග්‍රාමාත්‍යවරියක වන හෙලන් ක්ලාක් විසින් රටවල පාලකයන්ගේ දුර්වල සහ මන්දගාමී ප්‍රතිචාරයන් දැඩිව විවේචනය කර තිබූ අතර ඇය විසින් සඳහන් කර තිබුණේ බොහෝ රටවල් සිය වසංගතයට එරෙහි වීමට සියලු දැඩි සත්කාර ඒකක ඇඳන් පිරෙන තුරු බලා සිටි බවයි.

ඉන්පසුව පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) සඳහා මෙන්ම චිකිත්සක ක්‍රම සොයා ගැනීම සඳහා පොර බැදූ බවද පවැසූ හිටපු අග්‍රාමාත්‍යවරිය විසින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ සෞඛ්‍ය අංශ විසින් තමන්ගේ සීමාවන් පරික්ෂාවන්ට ලක් කරන අතරේ වෛරස් ආසාදන ප්‍රමාණය සහ මරණ ප්‍රමාණ අනුපාතය ඉහළ ගිය බවයි.

එමෙන්ම මෙම විවේචනාත්මක කමිටු වාර්තාවෙන් රජයන්ට පමණක් චෝදනා එල්ල කර නොතිබුණු අතර ලෝක සෞඛ්‍ය සංවිධානය වෙතද චෝදනා එල්ල කර තිබුණි.ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සෞඛ්‍ය ආයතනය මීට පෙර ගෝලීය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ යුතුව තිබූ බවද කමිටු වාර්තාව තුළින් අවධාරණය කර තිබුණි.

ලයිබිරියාවේ හිටපු ජනාධිපතිනියක් වන සහ මෙම ස්වාධීන කමිටුවේ සම සභාපතිත්වය දරන එලන් ජොන්සන් සර්ලීෆ් විසින් ද රටවල රජයන් විවේචනය කර තිබුණු අතර එහිදී ඇය සඳහන් කර සිටියේ වසංගතය හමුවේ රජයන් සූදානම් වීමට අසමත් වීම හා ඉන් පසුව ඇති වූ මන්දගාමී හා දුර්වල ප්‍රතිචාරයයන් හේතුවෙන් වසංගතය පැතිර යාමට අවශ්‍යය අසාර්ථකත්වයන්, හිඩැස් හා ප්‍රමාදයන් රාශියක් ඇති කළ බවයි.

වසංගත පාලනය කිරීම සඳහා අවශ්‍ය යෝජනා ද මෙම ස්වාධීන කමිටුව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත යෝජනා කර තිබුණු අතර එහිදී ඔවුන් සඳහන් කර තිබුණේ වසංගතය සඳහා වන සූදානම අධීක්ෂණය කිරීම සඳහා රාජ්‍ය නායකයින් එක්රැස් කර, මූල්‍යමය සහාය සහ වෛරස් තර්ජනයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙසයි. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රමවේදයන් සහ අනිකුත් සේවා තව වැඩිදියුණු කළ යුතු බවද ඔවුන් විසින් වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තවමත් මෙම කමිටු වාර්තාවට විධිමත් ලෙස ප්‍රතිචාර දක්වා නොමැති නමුත් මෙම කමිටු වාර්තාව යෝජනාවලියක් ලෙස භාරගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 May 2021 20:11