May 04, 2024

වාරණ නියෝගයක් ගැන අපි දන්නේ නෑ - රත්නප්‍රියගේ සංගමය තහනම නොතකා වර්ජනයේ

February 11, 2022

සෞඛ්‍ය සේවය අඩාල වන පරිදි සිදු කරන වැඩ වර්ජන අත්හිටුවන ලෙස දන්වා කොළඹ දිසා අධිකරණය ඊයේ වාරණ නියෝගයක් නිකුත් කළා.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා වෙත මෙම වාරණ නියෝගය නිකුත් කෙරුනේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුවයි.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා මෙම වාරණ නියෝගය සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා,

"වාරණ නියෝගයක් ලැබුණා කියන කාරණය මම දැනගත්තේ ජන මාධ්‍ය හරහා. එවැනි වාරණ නියෝගයක් මටවත් මගේ සංගමයටවත් මේ වෙනකොට ලැබිලා නැහැ. එවැනි වාරණ නියෝගයක් අධිකරණය විසින් ඒක පාර්ශවිකව දෙයි කියන විශ්වාසය අපිට තියන්න බැහැ. අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගත්තේ මේ රටේ නීතියට අනුකූලව. වැඩ වර්ජන අයිතිය ව්‍යවස්ථාපිතික අයිතියක්. එහෙම තීන්දුවක් ගන්නකොට අපිව කැඳවිය යුතුව තිබුණා කියලා අපි විශ්වාස කරනවා. එහෙම කැඳවීමක් ලැබුණේ නැහැ. කොහොම වුණත් එවැනි තීන්දුවක් අරගෙන තියෙනවා නම් ඒ තීන්දුව අපිට ලැබුණු පසු ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්න මම මගේ විධායක සභාව රැස් කරලා සාකච්ජා කරන්න බලාපොරොත්තු වෙනවා."

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‍ටුවේ ආනන්ද හිමි මෙසේ අදහස් දක්වා සිටියා,

"නීතියට ගරු කරන්න කියලා බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියෙනවා. ජේ.ආර්.ජයවර්ධන මහත්මයාගේ කාලේ අපටත් ඔය වගේ නීතිරීති දාලා තියෙනවා ඔය වගේ. අපේ සංගමය තහනම් කළා. අපි නීතියට ගරු කළා හැම වෙලාවේම. අපි හිස නමන්න ඕනේ උසාවියට."

හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන්හි වෘත්තීය සමිති පසුගිය සඳුදා ආරම්භ කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අධිකරණය ලබා දී ඇති වාරණ නියෝගය මධ්‍යයේ අද 5 වන දිනටත් ක්‍රියාත්මකයි.

ඔවුන් මෙලෙස වර්ජනයේ නිරත වන්නේ වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 7ක් මුල් කර ගනිමින්.

වර්ජනය හේතුවෙන් සුපුරුදු පරිදි අදත් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් වෙත පැමිණ සිටි රෝගී ජනතාවයි.

මේ අතර සෞඛ්‍ය සේවක වර්ජනය හේතුවෙන් රෝහල්වලින් නිකුත් කරන ඖෂධ සඳහා රාජ්‍ය ඔසුසල් හරහා නොමිලේ බෙහෙත් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

වැඩ වර්ජනය ගිලෙන මිනිහගේ බෙල්ල මිරිකීම වැනි ක්‍රියාවක් බව චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

ඒ අද කොළඹ පුරහල පිහිටි ඔසු සලට පැමිණෙන රෝගීන්ට නොමිලේ බෙහෙත් දෙන ආකාරය පිළිබඳව පරික්ෂා කිරීමට පැමිණි අවස්ථාවේදීයි.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

"අධිකරණ නියෝගයක් ලැබී තිබියදී වැඩවර්ජනය පවත්වාගෙන යාම අධිකරණයට අපහාස කිරීමක්. රටේ ආර්ථිකය වැටී තිබෙන අවස්ථාවක වසංගතයක් පැතිර අවස්ථාවක මෙවැනි වර්ජනයක් කිරීම කිසිසේත්ම සුදුසු නැහැ. ලංකාව පුරාම තියෙන ඔසුසල් වලින් නොමිලේ බෙහෙත් සපයනවා."

Rate this item
(0 votes)
Last modified on Friday, 11 February 2022 16:21