May 06, 2024

වෛද්‍ය වැඩවර්ජනය අවසන්

December 24, 2021

දැනට ක්‍රියාත්මක වෛද්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ, එම සංගමයේ අද පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ගත් තීරණයකට අනුවයි.

ඒ අනුව ලබන ජනවාරි 03 වැනිදා යළිත් වරක් මධ්‍යම කාරක සභාව රැස්වී මීට අදාළව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.

මේ අතර වෛද්‍ය පත්වීම් ලබා දීමේදී ඒ සඳහා දේශපාලන මැදිහත්වීමක් සිදුව ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කළද එම චෝදනා වල කිසිදු පදනමක් නොමැති බවත් කිසිදු දේශපාලන මැදිහත්වීමක් නොමැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම අවස්ථාවේදී රජයේ අපහසුවට පත් කිරීමේ වෑයමක නිරත වන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංසදයේ සභාපති, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ අර්ජුණ තිලකරත්න මහතා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සාමාජිකත්වය වැඩිකර ගැනීමේ අරමුණින් තමන්ට අදාළ නොමැති කාර්යයකට මැදිහත්වී ජනතාවගේ සෞඛ්‍ය අයිතිය විනාශ කරමින් සිටින්නේ යැයි හෙතෙම සඳහන් කළා.

සිමාවාසික පුහුණුව අවසන් කළ පිරිසකට සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍ය පත්වීම් ලබා දීම සිදු කර තිබෙන්නේ නියමිත ක්‍රමවේදයට අනුව බවත් ඒ සඳහා වෘත්තිය සමිති වල අනුමැතිය ලබා ගැනීමට කිසිසේත්ම අවශ්‍යය නැති බවත් ඒ මහතා පැවසුවා.

පේරාදෙණියේදී  අද (24) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් තිලකරත්න මහතා මේ බව ප්‍රකාශ  කළා.

වැඩවර්ජනයේ සැබෑ අරමුණු තේරුම්ගත් එම සංගමයේ වෛද්‍යවරු බොහෝ දෙනෙක් වර්ජනයට එක්නොවී සේවයේ නිරත වන අධ්‍යක්ෂවරයා පැවසුවා.

වසරක පශ්චාත් සීමාවාසික පුහුණු කාලය සාර්ථකව අවසන් කළ පිරිසකට මෙහිදී රජයේ රෝහල් වලට නව පත්වීම් ලබාදී තිබෙන බවත් ස්ථාන මාරු වලදී වෘත්තිය සමිති වලට යම් මැදිහත් වීමක් කළ හැකි වුවත් නව පත්වීම් ලබා දීමේදී එවැනි මැදිහත් වීමක් කිරීමට කිසිදු අයිතියක් නොමැති බවද අධ්‍යක්ෂවරයා පැවසුවා.

මෙම පත්වීම් ලබාදීම විනිවිද භාවයකින් යුතුව ඉතාම නිවැරදිව සිදුකර තිබෙන බවත් මේ සඳහා වෘත්ති සමිති වල අනුමැතිය ලබා ගැනීමට කිසිසේත් අවශ්‍ය නොමැති බවත් කී ඒ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහිදී කටයුතු කර තිබෙන ආකාරයේ කිසිදු ගැටලුවක් නොමැති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

(මහනුවර  කේ.එල්. සුරවීර)                         

 

Rate this item
(0 votes)
Last modified on Friday, 24 December 2021 16:35