May 03, 2024

වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන්ට යන එන මං නැහැ - තවත් රෝහල් සුපුරුදු පරිදි වැඩ

December 21, 2021

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා. එමෙන්ම එම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන රෝහල් මෙන්ම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන රෝහලද දිවයින පුරා පවතින බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

මෙම වර්ජනය හේතුවෙන් රෝහල්වල බාහිර රෝගී අංශය, සායනික සහ සාමාන්‍ය කටයුතුවලටද බාධා එල්ල වී ඇති බවයි රෝහල් බලධාරීන් සඳහන් කළේ.

වැඩ වර්ජනය ක්‍රියාත්මක වන රෝහල්වල ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් දැඩි අසිරුතාවයට පත්ව සිටිනවා. සායන වලට පැමිණෙන රෝගීන්ට නැවත හැරී යාමට සිදුව තිබෙනවා.

මිට අමතරව ඇතැම් රෝහල්වල දැඩිසත්කාර ඒකක ක්‍රියාත්මක වුවද සාමාන්‍ය ප්‍රතිකාර කිරීම් නවතා දමා තිබෙනවා. සමහර රෝහල්වල වැඩ වර්ජනය ක්‍රියත්මක නොවූ රෝහලද දක්නට තිබුණා.

අද උදෑසන 08.00 සිට දිවයින පුරා රෝහල්වල මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවේ, නීත්‍යානුකූල වෛද්‍ය මාරු මණ්ඩල අනුමැතියකින් තොරව විශේෂ වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තු සැකසීම ඇතුළු ඉල්ලීම් 07ක් මුල් කර ගනිමින්.

මේ අතර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටලුවලට විසදුම් නොලැබුණහොත් ලබන මස මුල් සතියේ අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමුවන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

ඔහු පැවසුවේ දැනට පළාත් කීපයකම උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වා ඇති අතර හෙට (22) දකුණු පළාතේ ද අනිද්දා (23) සබරගමුව පළාතේද වර්ජනයන් ක්‍රියාත්මක බවයි.

අප වාර්තාකරු සදහන් කලේ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණද පාදුක්ක රෝහලේ එම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බවයි. 

පාදුක්ක ප්‍රාදේශීය රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් 12 දෙනෙකු අතරින් අද දිනයේදී වෛද්‍යවරුන් 6 දෙනෙකු සේවය කල අතර එයින් වෛද්‍යවරුන් 4 දෙනෙකු බාහිර රෝගී සේවාවලත් එක් වෛද්‍යවරියක හදිසි ප්‍රතිකාර ඒකකයේත් තවත් වෛද්‍යවරියක බාහිර සායනික සේවාවලත් නිරත වූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

අප දඹුල්ල වාර්තාකරු සඳහන් කළේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි විශාල ජනතාවක් අද පෙරවරුවේ දැඩි අපහසුතාවයකට පත් වූ බවයි.

දඹුල්ල මූලික රෝහල හදිසි ප්‍රතිකාර ඒකක හැර අනෙකුත් අංශවල වෛද්‍යවරුන් වැඩ වර්ජනයකටට එක්ව සිටි අතර හදිසි රෝගීන් පරික්ෂා කිරීම සහ රෝගීන් ඇතුළත් කර ගැනීම් සිදු කරන බව රෝහල් සේවකයෝ සඳහන් කල බවයි වාර්තා වෙන්නේ.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණෙන බොහෝ රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වෙමින් ප්‍රතිකාර නොලබා රෝහලෙන් පිටව යන්නට වූ අතර තවත් රෝගීන් පිරිසක් වැඩ වර්ජනයකටය අවසන් කොට හෝ ප්‍රතිකාර කරනු ඇතැයි වෛද්‍යවරුන් කෙරේ බලාපොරොත්තුවෙන් රෝහලේ රැඳී සිටින අයුරු දැක ගැනීමට හැකි වූ බවයි අප දඹුල්ල වාර්තාකරු සඳහන් කලේ.

බොහෝ රෝගීන් කියා සිටියේ රට පුරා වැඩවර්ජන සහ විවිධ පීඩනය නිසා ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටින බවත් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමට නොහැකි නිසා රජයේ රෝහල් වලට පැමිණෙන බවත් එහෙත් අවසානයේ දී ජීවිතයෙන් රෝගීන්ට වන්දි ගෙවීම්ට සිදුව ඇති බවද එම රෝගීන් පැවසුවා.

අප හැටන් වාර්තාකරු සඳහන් කලේ රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ සංගමයේ වෛද්‍යවරුන් ඔවුන් සේවය කරන රෝහල් බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණි රෝගින්ට ප්‍රතිකාර ලබාදෙන බවයි.

බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ සේවයේ නියුතු රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජික වෛද්‍යවරයා රෝහලට ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණ සිටි සියළුම රෝගින්ට ප්‍රතිකාර ලබාදෙන බවත් සඳහන් කළා.

 වතුකරයේ ප්‍රධාන රෝහලක් වශයෙන් සැලකෙන දික්ඔය මුලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණි රෝගින් වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් දැඩි අසිරුතාවයට පත් වි ආපසු නිවාස කරා ගිය බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කලේ.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විසඳුම් ලැබෙන තුරු දීප ව්‍යාප්තව දියත් කර ඇති වර්ජනය අඛණ්ඩව සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

කොළඹ අද (21) පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ නියෝජිත වෛද්‍ය හංසමාල් විරසූරිය මහතා පැවසුවේ, සිය වෘත්තීමය අර්බුද විසඳෙන තුරු වර්ජනය ක්‍රියාත්මක බවයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 December 2021 14:31