May 13, 2024

ගෑස් හිඟයෙන් ව්‍යාපාර රැසක් අඩපණයි

December 21, 2021

වෙළඳපොලේ පවතින ගෑස් හිගය හේතුවෙන් ජනතාව දැඩි අසිරුතාවයට පත්ව සිටිනවා. සුළු ව්‍යාපාරිකයන්ට මෙන්ම දෛනික වෙළඳාම් කරන ව්‍යපරිකයන්ට ද මේ දැඩිව බලපා තිබෙනවා. එමෙන්ම හෝටල් හිමියන්ට ද මෙම ගෑස් හිගය දැඩිව බලපා ඇති අතර බොහෝ ව්‍යාපාර මේ වන විට නවතා දමා ද තිබෙනවා.

මේ අතර නව සංයුතිය ඇතුළත් කර ස්ටිකරය ඇල වූ ගෘහස්ත ගෑස් සිලින්ඩර් වෙළදපොළට නිකුත් කිරිමේ ප්‍රමාදයක් පවතින බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

ඒ, ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කමිටුවේ නව නිර්දේශ ඇතුළත් කොට අදාළ ගෑස් සිලින්ඩර් වෙළදපොළට නිකුත් කිරීමට ගත් තීරණයත් සමඟයි.

ඊයේ දිනයේදී එම කමිටුවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමට පියවර ගැනුණා.

ඒ අනුව එහි ඇතුළත් නිර්දේශ ගැසට් කර නව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය පසුගිය දා පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් දෙනු ලැබුවේ අධිකරණය විසින් ලබාදුන් නියෝගයට අනුව ගෑස් බෙදා හරින ලෙස අදාළ සමාගම් වෙත දැනුම් දෙන ලෙසයි.

ඒ අනුව ගෑස් සමාගම් විසින් සංයුතිය ඇතුළත් ස්ටිකරය ඇල වූ ගෑස් සිලින්ඩර් වෙළදපොළට නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත් අධිකරණය විසින් ලබාදුන් නියෝගවලට අනුව එම ස්ටිකරයෙහි ගෑස් සංයුතිය නො තිබූ බවටයි අනාවරණ වූයේ.

ගෑස් සමාගම් වෙත උපදෙස් ලබා දී තිබුණේ ප්‍රොපේන් සියයට 30ක් සහ බියුටේන් සියයට 70ක් ලෙස දක්වමින් ගෑස් බෙදා හැරීම සිදු කරන ලෙසට යි.

වෙළඳපලට නිකුත් කරන ගෑස්වල ප්‍රමිතිය මේ වන විට සහතික කර ඇති බවත්, එහි ඇති ප්‍රොපේන් ප්‍රතිශතය ගෑස් සිලින්ඩරම මත මුද්‍රණය කළ නව ප්‍රමිති සහතිකය සහිත ගෑස් සිලින්ඩර් අද (21) සිට වෙළඳපලට නිකුත් කරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසුවා.

මෙම ගෑස් සිලින්ඩර භාවිතය ගැන ජනතාව කිසිසේත් බිය නොවිය යුතු බව කී සභාපතිවරයා තමන් භාවිතා කරන ගෑස් ලිප, රෙගියුලේටරය ආදියේ ප්‍රමිතිය ගැන සොයාබලන්නැයි පාරිභොගිකයන්ගෙන් ඉල්ලා සිටින බව සඳහන් කළා.

පසුගිය දා ගෑස් සිලින්ඩරයක් පුපුරා සිවුදරු මවක් මියයෑමේ සිද්ධිය සිදුවූ ස්ථානයට තම සමාගමේ නිලධාරීන් ගොස් පරීක්‍ෂාවක් කළ බව කී තෙෂාර ජයසිංහ මහතා ඔවුන් රෙගියුලේටරය හා ගෑස් ලිප සම්බන්ධ කර තිබුණේ නාන කාමරවල ෂවරය සම්බන්ධ කිරීමට භාවිතා කරන වර්ගයේ බටයක් බව එහිදී තහවුරු වූ බව ද සඳහන් කළා.

වෙළඳපලට ගෑස් නිකුත් කිරීම දින කිහිපයක් තිස්සේ සිදුනොවීම නිසා දැනට ඇතිවී ඇති ගෑස් හිඟය මගහැරීමට තවත් යම් කාලයක් ගතවනු ඇතැයි ද ජයසිංහ මහතා සඳහන් කළා.

ගෑස් සම්බන්ධ සිද්ධීන් 21ක් ඊයේ (20) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුල වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පැවසුවා.

මෙම සිද්ධීන් 21 න් සිද්ධියෙන් 15 ක් පමණ බස්නාහිර පළාතෙන් පිටත ප්‍රදේශවල සිද්ධීන් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

පසුගිය නොවැම්බර් මස 1 වෙනිදා සිට මේ දක්වා දින 49ක කාලය තුළ ගෑස් සම්බන්ධ සිද්ධියෙන් 836 ක් පොලිසියට වාර්තා වී තිබෙනවා.

මෙම සිද්ධීන් රට පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවත් එම සිද්ධීන් වලින් සියයට 95 ක් පමණ ගෑස් ලිප්වලට සිදුවූ හානි බවත් පොලිසිය සඳහන් කළා.

කෙසේ වෙතත්, ප්‍රදේශ කිහිපයක අප වාර්තාකරුවන් සඳහන් කළේ ගෑස් නොමැතිවීම හේතුවෙන් ගෑස් අලෙවිසැල් වසා දමා ඇති බවයි.

උඩරට වතුකරයේ පවතින උග්‍ර ගෑස් හිගය හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇතැයි වතු ජනතාව හා ආපනශාලා හිමියෝ පවසනවා.

සති ගණනාවක සිට උඩරට වතුකරයේ නගර හා උප නගර ආශ්‍රිත ගෑස් අළෙවිසැල්වල මෙසේ තමන්ට ලබා ගැනීමට ගෑස් නොමැති බවත් මේ හේතුවෙන් ආපනශාලා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් නිරිමාණය වී ඇති බව ආපනශාලා හිමියෝ සඳහන් කරනවා.

සෑම දිනකම පාහේ ගෑස් මිළදී ගැනීමට ගෑස් වෙළෙඳ සැල්වලට පැමිණ යලි හිස් අතින් හැරීයාමට සිදුව ඇති බවත් ගෑස් නොමැතිකමින් ආහාර පිස ගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැති කමින් තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇතැයි ඔවුහු වැඩිදුරටත් සඳහන් කරනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 December 2021 17:24