May 03, 2024

"දැන් ඉන්නේ දෙවිවරු නෙවේ යමපල්ලෝ" - වෛද්‍ය වර්ජනය නිසා ජනතාව අන්ත අසරණ වෙයි

December 23, 2021

ඉල්ලීම් 7ක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ දීප ව්‍යාප්ත වැඩවර්ජනය අද තෙවන දිනයටත් ක්‍රියාත්මකයි. 

ඒ හේතුවෙන් අදත් රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් දුෂ්කරතාවයට පත් වුණා.

මෙම වැඩවර්ජන නිසා පිඩාවට පත් ජනතාව තම අපහසුතාවය පිළිබඳව මෙසේ සඳහන් කළා,

"දොස්තරලා අපිට දැන් කියනවා ගෙවල් වලට යන්න කියලා. වෙනින් දවසක ඇවිල්ලා දිනයක් දාගන්න කියලා."

"ඉස්සර නම් දොස්තරවරු දෙවිවරු, දැන් නම් යක්කු වෙලා."

"පුදුම අපරාධයක් මේක නම්."

"මිනිස්සු මැරිලා යයි මෙහෙම ස්ට්‍රයික් කලොත්."

"රස්තියාදු තමයි. අපි පෝලිමේ ඉඳලා ඉඳලා එතනට ගියාම කියනවා ස්ට්‍රයික් කියලා. ඉතින් ආපහු ගෙදර යන්න ඕනේ."

"වැරදියි මේ වෙලාවේ මෙහෙම කරන එක නම්."

"ගිය මාසෙත් ආවා. ඒ එනකොටත් ස්ට්‍රයික් එකක් තිබ්බා. මේ මාසෙත් අද ආවා. අදත් ස්ට්‍රයික්. අපේ කරුමේ තමයි මේ."

"ඉල්ලන් කාලා තියෙන්නේ. මිනිස්සු පෝලිම්වල දුක් විදිනවා. මේක තමයි රටේ තත්වේ."

"ලෙඩ්ඩු කොහේ යන්නද? සල්ලිත් නැහැ. කන්නත් නැහැ. මාර දුකයි. දරුවන්ට රස්සාවක් නැහැ. අපේ මනුස්සයා මාළු කඩේ කූඩ කර ගහලා තමයි අපි මේ ජිවත් වෙන්නේ."

"දොස්තරගොල්ලෝ දැන් කොන්දොස්තරගොල්ලෝ වෙලා. දුප්පත් මිනිස්සු සුරා කනවා."

මෙම වැඩවර්ජනය එක් එක් දිස්ත්‍රික්ක ඉලක්ක කරගෙන සිදු කිරීමට පළමුව තීරණය කර තිබුණ ද ඊයේ දිනයේදී ඔවුන් හදිසියේ එම තීරණය වෙනස් කර අද දින දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දක්වා එය පුළුල් කළා.

මෙම වැඩ වර්ජනයට හේතුව ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ ඔවුන් සිය වෘත්තීය ජීවිතයේ මුහුණ දෙන වෘත්තීය ගැටලු ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ දක්වා නිරාකරණය කර නොතිබීම බවයි.

කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, ජාතික අක්ෂි රෝහල ඇතුළු දිවයින පුරා ප්‍රධාන රෝහල් රැසක මෙම වර්ජනය ක්‍රියාත්මක වූ අතර, මේ හේතුවෙන් රෝගීන් පත්වුණේ දැඩි දුෂ්කරතාවකටයි.

දීපව්‍යාප්තව වෛද්‍ය වර්ජනය ක්‍රියාත්මක කෙරුණද, මහරගම අපේක්ෂා රෝහල ඇතුළු හදිසි ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක රෝහල්වල ප්‍රතිකාර සේවා පවත්වා ගෙන යාමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පියවර ගෙන තිබුණා.

මේ අතර, වර්ජනයට සහය නොදෙන වෛද්‍ය හා සෞඛ්‍ය වෘත්තීය සංගම් චෝදනා කරන්නේ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස වර්ජනයේ නිරතවන බවයි.

මේ අතර, වෛද්‍යවරුන්ගේ වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සදහා රෝගීන් පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු වී ඇති අයුරු දැකගත හැකි වුණා.

මේ අතර දීප ව්‍යාප්ත වර්ජනයක නිරතව සිටින රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඉල්ලීම් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිචාරය අද බොහෝදුරට ලබාදීමට නියමිත බව එම අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර වෛද්‍යවරුන් තෙවන දිනටත් වර්ජනයේ නිරත වීම හේතුවෙන් රෝහල් කටයුතු වලට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා. 

සිය ගැටළු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර ඊයේ පස්වරුවේ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එය එකඟතාවයකින් තොරව අවසන් වී තිබුණා.

කෙසේ වෙතත්, වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු නිලධාරින් අමාත්‍යාංශ මට්ටමින් අද සාකච්ඡා කිරීමට ද නියමිතයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යවරයා ඔවුන් ගැටලුවලට විසඳුම් ලබාදීමට පැය 24 ක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවයි.

කෙසේ වෙතත්, රජයේ වෛද්‍ය නිලධාරීන් දීප ව්‍යාප්තව ආරම්භ කර ඇති වර්ජනයට වෛද්‍ය වෘත්තීය සංගම් විරෝධය පළ කරනවා. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරී සංසදයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිරෝෂන ප්‍රේමරත්න.

වෛද්‍යවරු වැඩවර්ජනයකට එක් වූ විට ඉන් වැඩියෙන්ම බැට කන්නේ මෙරට අහිංසක දුගී දුප්පත් ජනතාව බව නොරහසක්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 December 2021 13:32