April 27, 2024

LPL: තරගයේ අඩක් අවසන්! තරගාවලියේ පළමු අර්ධ ශතකය භානුකගෙන්!

December 05, 2021

2021 LPL තරගාවලියේ පළමු තරගයේ පළමු භාගය මීට මොහොතකට පෙර අවසන් වූවා.

තරගය පැවැත්වෙන්නේ යාපනය (ජැෆ්නා කිංස්) කණ්ඩායම සහ ගාල්ල (ගෝල් ග්ලැඩියේටර්ස්) කණ්ඩායම අතර යි.

කාසියේ වාසිය දිනාගත් යාපනය කණ්ඩායමේ නායක තිසර පෙරේරාගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම කඩුළු 07ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 164ක්.

ගාලු ඉනිමේ දී නායක භානුක රාජපක්ෂගේ පිතිකරණය විශේෂයෙන් කැපී පෙනුනා.

පන්දු 31ක් තුළ ඔහු රැස් කළ ලකුණු ගණන 56ක්.

එය මෙම තරගාවලියේ පළමු අර්ධ ශතකය ද වූවා.

භානුකගේ ඉනිමට හයේ පහර 03ක් සහ හතරේ පහර 06ක් අන්තර්ගත වූවා.

සමිට් පටෙල් ද ගාලු ඉනිමට විශේෂ දායකත්වයක් දුන් අතර ඔහු රැස් කළ ලකුණු ගණන 42ක්.

ඔවුන් දෙදෙනා හැරුණු කොට අනෙක් ක්‍රීඩකයින් කිසියෙකුට හෝ ගාලු ඉනිම සඳහා සැළකිය යුතු දායකත්වයක් දීමට නොහැකි වූවා.

ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක ද ගාලු කණ්ඩායම නියෝජනය කරන අතර ඔවුන් දෙදෙනා වගකීම් විරහිත ලෙස දැවී ගියේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට සුපුරුදු මතක යළි සිහිගන්වමින්.

ගුණතිලක ලබා ගත්තේ ලකුණු 08ක් පමණක් වන අතර මෙන්ඩිස් ලකුණු 16කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ජේඩන් සීල්ස් කඩුළු 03ක් බිඳ හෙලූ අතර වනිඳු හසරංග දවා ගත් කඩුළු ගණන 02ක්.

සුරංග ලක්මාල් සහ මහීෂ් තීක්ෂණ එක් කඩුල්ල බැගින් බිඳ හෙළුවා.

තරගය ජය ගැනීමට යාපනය කණ්ඩායමට ලැබී ඇති ඉලක්කය ලකුණු 165ක්.

මේවන විට යාපනය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් පිටියට පිවිස සිටිනවා.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 05 December 2021 21:39