March 29, 2024

ඇමති රාජපක්ෂ ක්‍රිකට් රාජපක්ෂගේ හිත වෙනස් කරයි

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට ගත් තීරණය භානුක රාජපක්ෂ විසින් වෙනස් කර තිබෙනවා.

ඒ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව යි.

අරලියගහ මන්දිරයේ දී මෙම සාකච්ඡාව ඊයේ (13) පැවැත්වුණා.

ඒ අනුව පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාරදුන් ඉල්ලා අස්වීමේ ලිපිය ඉවත් කරගැනීමට යි භානුක තීරණය කර ඇත්තේ.

භානුක ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කිරීමත් සමග ලසිත් මාලිංග, සනත් ජයසූරිය වැනි ක්‍රිකට් යෝධයින් මෙන්ම නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ද එම තීරණය පිළිබඳ නැවත සළකා බලන ලෙස භානුකගෙන් ඉල්ලීම් කර තිබුණා.

ඊයේ ක්‍රීඩා අමාත්‍යවරයා සමග ඔහු සාකච්ඡාවක නිරත වී තිබුණේ එවන් වාතාවරණයක යි.

තීරණය දැනුම් දෙයි

තමා තවදුරටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන බවත්, ඒ අනුව වහාම ක්‍රියාත්මකවන පරිදි සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉල්ලා අස්කරගන්නා බවත්, එම සාකච්ඡාවෙන් අනතුරුව භානුක විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා.

එම තීරණය දැනුම් දෙමින් භානුක වැඩිදුරටත් සඳහන් කොට ඇත්තේ ඉදිරි වසර කිහිපයේ දී සිය රට නියෝජනය කිරීමට සූදානමින් සිටින බව යි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළේ පසුගිය 05 වැනි දා යි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද තහවුරු කළ අතර භානුක ඉල්ලා අස් වීමේ ලිපිය ද භාර දී ඇති බව ක්‍රිකට් ආයතනය පැවසුවා

ක්‍රිකට් ආයතනය කියූ දේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ පෞද්ගලික හේතු මත තමන් ඉල්ලා අස්වන බව භානුක රාජපක්ෂ දැනුම් දුන් බව යි.

“මම ක්‍රීඩකයෙකු වගේම ස්වාමිපුරුෂයකු ලෙසින් මෙම තීරණය ගනු ලැබුවා. මම මේ තීරණය ගනු ලැබුවේ පිය පදවියත් එක්කම වූ ඒ ආශ්‍රිත පවුලේ වගකීමේ අපේක්ෂාවෙන්” ලෙසට භානුකගේ ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන්ව ඇති බව එම ආයතනය පැවසුවා.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවේවාය යන්න සිය ප්‍රාර්ථනාව බවට භානුක වැඩිදුරටත් සටහන් තබා තිබූ බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා.

ඇත්ත හේතුව?

කෙසේ වෙතත් ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ ඒෂියන් මිරර් ක්‍රීඩා අංශයට මීට වෙනස් වූ කරුණක් ද වාර්තා වූවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නව ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය 07 වැනි දා පැවැත්වීමට නියමිතව තිබූ අතර භානුකගේ ඉල්ලා අස්වීම සමග එහි සබඳතාවක් තිබූ බව පැවසෙනවා.

මෙහි දී ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව මැන බලන කඩඉම් තවත් දැඩි කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බව සඳහන්.

යෝග්‍යතා පරීක්ෂණයේ දී දිවීමට ඇති කිලෝමීටර දෙකක දුර ප්‍රමාණය සඳහා දී ඇති කාලය මිනිත්තු 8කුත් තත්පර 10ක් දක්වා තවදුරටත් අඩු කිරීමට යි ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත්තේ.

මීට පෙර ඒ සඳහා දී තිබූ කාලය වූයේ මිනිත්තු 8කුත් තත්පර 35ක කාල පරාසයක්.

එපමණක් නොව ස්කින් ෆෝල්ඩ්ස් (Skin Folds) අගය 80 සිට 70 දක්වා අඩු කිරීමට ද ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇති බව වාර්තා වූවා.

මේවන විට භානුක සිටින මට්ටමට අනුව මෙම නව නිර්ණායකවලට අනුව යෝග්‍යතා පරීක්ෂණය සමත් වීමට ඔහුට නොහැකි වනු ඇති බව පුවත් වාර්තා සඳහන් කළ අතර කෙසේ හෝ මෙම පරීක්ෂණය සමත්වීම සඳහා තම ශාරීරික යෝග්‍යතාව සකසා ගතහොත් එය සිය ප්‍රවේගකාරී පිතිහරඹයට බාධාවක් විය හැකි බවට භානුක පැවසූ ඇති බව ද අප වෙත වාර්තා වූවා.

පොඩි කාලේ වාර්තා

ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට භානුක හට අවස්ථාව ලබා දීමට මෙතරම් ප්‍රමාද වීම පිළිබඳව ද  පසුගිය කාලයේ බොහෝසෙයින් ආන්දෝලනාත්මක බවක් හටගෙන තිබුණා.

කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුවෙකු ලෙස සිය ක්‍රිකට් දිවිය ආරම්භ කළ භානුක රාජපක්ෂ 2009 වසරේ දී, වැඩිම ලකුණු ප්‍රමාණයක් (154) එක් ඉනිමක දී වාර්තා කළ 19න් පහළ ක්‍රීඩකයින් අතර දෙවැනි ස්ථානයේ වාර්තාව තමන් සතු කරගත්තා.

එමෙන්ම 2010 වසරේ දී 19න් පහළ ලෝක කුසලාන සංචිතයට තේරී පත් වූ භානුක එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් (253) රැස් කළ ක්‍රීඩකයා බවට පත් වූවා.

එක් ඉනිමක් තුළ ලකුණූ 150 සීමාව අභිබවා ගිය ප්‍රථම ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩකයා ද වන්නේ භානුක රාජපක්ෂ යි.

එපමණක් නොව ලකුණු 1000 ප්‍රමාණය ඉක්මවූ ප්‍රථම ශ්‍රී ලාංකීය 19න් පහළ ක්‍රීඩකයා වීමට ද ඔහුට හැකි වුණා.

අහම්බෙන් ලැබුණු අවස්ථාව

මේ අයුරින් දස්කම් දක්වද්දීත් ජාතික කණ්ඩායම තුළ භානුකට ඉඩ කඩ වෙන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේ නැහැ.

එවන් පසුබිමක ක්‍රීඩා සමාජ වෙනුවෙන් සිය දක්ෂතාව කැපකළ භානුක රාජපක්ෂ විස්සයි20 ලීග් තරගවලදී ද සුපිරි දස්කම් දැක්වූවා.

අවසානයේ භානුක වෙත පළමු ජාත්‍යන්තර විස්සයි20 තරගාවලිය සඳහා අවස්ථාව ලැබෙන්නේ 2019 වසරේ දී යි.

එම අවස්ථාව ද ඔහුට ලැබුණේ අහම්බයක් ලෙසින්.

ඒ, ආරක්ෂක හේතු මත පාකිස්තානයට යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ප්‍රතික්ෂේප කිරීමත් සමග යි.

ජ්‍යෙෂ්ඨයන්ගේ එම තීරණය හේතුවෙන් භානුක ඇතුළු නවකයින් කිහිප දෙනෙකුටම අවස්ථාව ලැබුණු අතර දසුන් ශානකගේ නායකත්වය ප්‍රථම වරට ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණේ ද එහිදී යි.

සිය ප්‍රථම ජාත්‍යන්තර විස්සයි20 තරගාවලිය වූ එහි දී භානුක කැපී පෙනෙන දක්ෂතා දැක්වූ අතර භානුක රාජපක්ෂ නමැති දක්ෂයෙකු ශ්‍රී ලංකාව තුළ සිටින බවට මෙරට ක්‍රිකට් ලෝලීන් බහුතරය දැන හඳුණාගත්තේ එහි දී යි.

එම තරගාවලිය 3-0ක් ලෙසින් ජයගැනීමට ද නවකයින්ගෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වූවා.

භානුකට බෙදූ අමුතු හැන්ද

එලෙස ඔහුගේ දස්කම් ලොවම හඳුණාගනිද්දී පවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුව ඉදිරි තරගවලට සහභාගී නොකර ගත් අතර පසු කලක දී කළකිරීමට පත් භානුක යූටියුබ් නාලිකා කිහිපයක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවල දී තමාට විඳින්නට වී ඇති අසාධාරණකම් පිළිබඳ ඍජු අනාවරණ පවා සිදු කළා.

එමෙන්ම ඔහු සහ ශ්‍රී ලංකා හිටපු ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් අතර උණුසුම් තත්ත්වයක් පවා හටගත්තේ ඒ හරහා යි.

දිගින් දිගටම අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් වැන්නවුන් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයින් ලෙස තබා ගනිමින් සිටිය දී භානුක වැන්නවුන්ට කිසිදු අවස්ථාවක් නොදීම පිළිබඳව ක්‍රීඩා ලෝලීන් පවා ප්‍රශ්ණ කළා.

භානුක රාජපක්ෂගේ ස්කින් ෆෝල්ඩ්ස් (Skin Folds) අගය හරහා ශාරීරික යෝග්‍යතාව පිළිබඳව ද ගැටළු පැණ නැගුණු අතර කෙසේ වෙතත් පසුව ඔහු බොහෝ සෙයින් කැපවී ආහාර පවා දැඩි ලෙස පාලනය කොට යෝග්‍යතා පරීක්ෂණ සමත් වූ බව ද වාර්තා වූවා.

ඒ අනුව භානුක හට සිය ප්‍රථම එක් දින ජාත්‍යන්තර තරගය ලැබුණේ පසුගිය වසරේ (2021) ජුලි මාසයේ දී යි.

එමෙන්ම සැප්තැම්බර් මාසයේ දී පැවැත්වුණු 2021 පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ද භානුක ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා.

කෙටි කලකින් වැඩ ගොඩක්

භානුක මේ වන විට මුළු ලකුණු 409ක් ලබාගෙන තිබෙන්නේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 5කට සහ විස්සයි විස්ස තරග 18කට ක්‍රීඩා කරමින්.

සිය කෙටි ජාත්‍යන්තර ක්‍රිකට් ගමන තුළ අර්ධ ශතකයක් සහ විස්සයි විස්ස අර්ධ ශතක දෙකක් සිය නමට ඉදිරියෙන් සටහන් කරගැනීමට භානුකට හැකි වී තිබෙනවා.

එමෙන්ම විස්සයි විස්ස පිටියේ ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 136+කට වඩා වැඩි අගයක් ගනු ලබනවා.

නිමා වූ පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉනිම් 6ක් තුල 143.51ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙන ලකුණු 155ක් රැස්කිරීමට භානුක සමත් වූවා.

LPL නායකත්වය

ජාතික කණ්ඩායමේ දී මෙන්ම මෙරට ක්‍රිකට් ලෝලීන් අතර භානුක රාජපක්ෂගේ නාමය වඩාත් පැතිර යාමට ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL තරගාවලිය හේතු වුණා.

2020 වසරේ දී පැවැති LPL දෙවැනි අදියරේ දී ගාල්ල කණ්ඩායමේ නායකත්වය දැරුවේ ෂහීඩ් අෆ්‍රිඩි විසින්.

කෙසේ වෙතත් තරගාවලිය අතරතුර දී අෆ්‍රිඩි යළි සිය රට වූ පාකිස්තානය බලා පිටත්ව ගියේ පෞද්ගලික හේතු මත යි.

අෆ්‍රිඩිගේ නික්මයාමෙන් අනතුරුව කණ්ඩායමේ නායකත්වය භානුකගේ කර මතට ආ අතර එහි දී ඔහු සිය කණ්ඩායම අවසාන මහා තරගය තෙක් රැගෙන යාමට පියවර ගත්තා.

2020 LPL තරගාවලිය නිමා වූයේ භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු ගාලු කණ්ඩායමට අනුශූරතාවය හිමිකර දෙමින්.

එමෙන්ම නිමාවූ LPL දෙවැනි අදියරේ දී (2021) ගාල්ල කණ්ඩායමේ නිත්‍ය නායකත්වය භානුක රාජපක්ෂට හිමි වූ අතර, තරගාවලියේ පළමු තරගයෙන්ම ජය වාර්තා කිරීමට ඔහු ඇතුළු කණ්ඩායම සමත් වූවා.

මෙවර LPL තරගාවලියේ දී ද ගාලු කණ්ඩායම අවසාන මහා තරගය දක්වා මෙහෙයවූ භානුක, පිට පිටම දෙවැනි වරටත් ගාල්ල කණ්ඩායම අනුශූරයන් බවට පත් කිරීමට නායකත්වය ලබා දුන්නා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 January 2022 17:10