April 27, 2024

ධනංජය සහ ලසිත් වාර්තාවක - සිව්වන දිනය නිමා වූයේ මෙහෙමයි

December 02, 2021

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් සහ දෙවැනි තරගයේ සිව්වැනි දිනය අද (02) සවස නිමා වූවා.

දිනය නිමාවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 328ක් ලබා සිටිනවා.

ඒ අනුව මේවන විට ශ්‍රී ලංකාව සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට වඩා ලකුණූ 279ක් ඉදිරියෙන්.

ගතවූ දින තුන කෙටියෙන්

තරගය ඇරඹුණු 29 වැනි දා කාසියේ වාසිය දිනා පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් තරගයේ දෙවැනි දිනය වූ පෙරේදා (30) සියළු දෙනා දැවී ලකුණු 204ක් රැස් කරගත්තා.

පෙරේදා (30) කොදෙව්වන් සිය පළමු ඉනිම ඇරඹූ අතර ඊයේ (01) එම ඉනිම අවසන් වූයේ සියලු දෙනා දැවී ලකුණූ 253ක් ලබා ගනිමින්.

ඒ අනුව ශ්‍රී ලංකාව ඊයේ (01) සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර දිනය නිමාවන විට කඩුළු 02ක් දැවී ගොස් ලකුණූ 46ක් ලබා සිටියා.

අද දවස

අද දවස ආරම්භ කරන විට ශ්‍රී ලංකාව කඩුලු 02ක් දැවී ලකුණු 46ක් ලබා සිටියේ කොදෙව්වන්ට වැඩි වාසි ගෙන දෙමින්.

ඒවන විට පන්දුවට පහර දෙමින් සිටියේ ලකුණු 21ක් ලබා සිටි පැතුම් නිස්සංක සහ ලකුණු 04ක් ලබා සිටි චරිත් අසලංක යි.

කෙසේ වෙතත් අසලංකට මෙම ඉනිමෙහි ද සාර්ථක වන්නට ඉඩ නොලැබුණු අතර ලකුණු 19ක් ලබා සිටි ඔහු තුන්වැනි කඩුල්ල ලෙස වීරසැමි පෙර්මෞල්ගේ පන්දුවකට කෘමා බෝනර් අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගියා.

ඒ මුලු ලකුණූ ගණන 73ක් බවට පත්වෙද්දියි.

ඉන් අනතුරුව පිටියට පිවිසි ධනංජය ද සිල්වා සහ අනෙක් අන්තයේ සිටි පැතුම් නිස්සංක සිය වගකීම මනාව හඳුණාගනිමින් පන්දුවට පහර දුන් අයුරු දක්නට ලැබුණා.

ඔවුන් දෙදෙනා 04 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ සබඳතාව ලකුණු 78ක්.

දිවා ආහාර විවේකයට විනාඩි කිහිපයක් තිබිය දී අවාසනාවන්ත ලෙස පැතුම් නිස්සංක ලකුණු 66කට දැවී ගියා.

ඒ රොස්ටන් චේස්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන්.

නිස්සංක අද ලබාගත්තේ සිය ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ සිව්වැනි අර්ධ ශතකය යි.

එමෙන්ම ඔහු මෙම තරගාවලියේ ඉනිම් තුනකදී ම අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුණා.

දිවා ආහාරයෙන් පසු පිටියට ආ නව පිතිකරුවා වූ දිනේෂ් චන්දිමාල් හට ලබා ගත හැකි වූයේ ලකුණු 02ක් පමණ යි.

රොස්ටන් චේස් ගේ පන්දුවකට ඔහු වෙතටම උඩපන්දුවක් ලබා දී ඔහු දැවී ගියා.

මීළඟ පිතිකරු වූ රමේෂ් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා එක්ව ලකුණු 51ක සබඳතාවක් ගොඩනැගුවා.

කෙසේ වෙතත් මුලු ලකුණූ ගණන 208 වෙද්දී 06 වැනි කඩුල්ල ලෙස රමේෂ් මෙන්ඩිස් ලකුණු 25ක් ලබා සිටියදී දැවී ගියා.

ඒ ක්‍රෙයිග් බ්‍රත්වෙයිට් යැවූ පන්දුවකට එල්ල කළ පහරක් කෙමා රෝච් විසින් උඩපන්දුවක් ලෙස රැක ගැනීමත් සමග යි.

07 වැනි පිතිකරු ලෙස දැවී ගිය සුරංග ලක්මාල් හට මුහුණ දීමට හැකි වූයේ පන්දු 10කට පමණ යි.

ලකුණු 07ක් ලබා සිටියදී ඔහු වීරසැමි පෙර්මෞල්ගේ පන්දුවකට කඩුල්ල මුවාකරමින් දැවී ගියා.

මේ අතර පළමු ඉනිමේ දී ආබාධයකට ලක් වූ ඇන්ජලෝ මැතිව්ස් මීලඟ පිතිකරු ලෙස පැමිණියා.

ඒ ඔහුගේ එම ආබාධය සුව නොවී ඇති පසුබිමක දී.

ඔහුට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණ යි.

වීරසැමි පෙර්මෞල් එවූ පන්දුව මැතිව්ස්ගේ පිත්තෙහි වැදී පිටුපසට යොමු වූ අතර එය ජෙරමයින් බ්ලැක්වුඩ් විසින් රැකගත්තා.

09 වැනි කඩුල්ලට මනරම් සබඳතාවක්

මීළඟ පිතිකරු ලෙස ලසිත් ඇඹුල්දෙණිය පැමිණෙන විට ශ්‍රී ලංකාව කඩුළු 08ක් දැවී ලකුණු 221ක් ලබා සිටියා.

බිඳ හෙළීමට තවත් කඩුලු 02ක් පමණක් ඉතිරිව තිබූ මොහොතක කොදෙව්වන් සිතුවේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම තවත් දුර නොයනු ඇති බවට යි.

කෙසේ වෙතත් ලසිත් ඇඹුල්දෙණිය හා එක් වූ ධනංජය ද සිල්වා විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූයේ කොදෙව් පන්දු යවන්නන් අසරණ කරමින්.

අද (02) දිනය නිමා කරන විට දෙදෙනා එක්ව නොදැවී ගොඩ නැගූ ලකුණු සබඳතාව 107ක්.

එය වාර්තා පොත් අතරට ගියේ ගාල්ල පිටිය මත 09 වැනි විකට්ටුව වෙනුවෙන් ක්‍රීඩකයන් දෙදෙනෙකු ගොඩනැගූ වැඩිම ලකුණු සබඳතාව ලෙස යි.

එමෙන්ම ධනංජය ද සිල්වා මෙම ඉනිමෙහි සිය ලකුණු ගණන 150 අභිබවා යාම ද විශේෂයෙන් කැපී පෙණුනා.

ඔහු ජාත්‍යන්තර ටෙස්ට් තරගයක දී ලකුණූ 150 අභිබවූ තුන්වැනි අවස්ථාව ද මෙය යි.

එමෙන්ම ධනංජය අද ලබා ගත්තේ ඔහුගේ ටෙස්ට් දිවියේ 08 වැනි ශතකය යි.

දිනය නිමාවන විට ඔහු නොදැවී ලබා සිටි ලකුණූ ගණන 153ක්වන අතර ලසිත් ඇඹුල්දෙණිය නොදැවී ලකුණු 25ක් ලබා සිටිනවා.

ලකුණු 328ක් ලබා, බටහිර ඉන්දීය කොදෙව්වන්ට වඩා ලකුණු 279ක් ඉදිරියෙන් සිටින අවස්ථාවක යි සිව්වැනි දිනය එලෙස නිමා වූයේ.

හෙට (03) තරගයේ අවසාන සහ 05 වැනි දිනය යි.

උදෑසන 9.45ට තරගය ආරම්භ වීමට නියමිත යි.

Rate this item
(0 votes)
Last modified on Friday, 03 December 2021 05:48