April 26, 2024

දෙවැනි තරගයේ දෙවැනි දිනය කලින්ම නිමා වෙයි

November 30, 2021

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අදාළව පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගයෙහි දෙවැනි දිනය අද (30) ක්‍රියාත්මක වුණා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම අපේක්ෂා කළ වේලාවට වඩා කලින් අවසන් වූ අතර පිතිකරුවන් සියළු දෙනා දැවී ඔවුන් රැස් කළේ ලකුණු 204ක් පමණ යි.

ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද දිනය නිමාවන විට එක් කඩුල්ලක් පමණක් දැවී ලබා සිටි ලකුණු ගණන 69ක්.

සවස් කාලයේ වර්ෂාව පතිත වීම හේතුවෙන් අද දිනය ද නියමිත වේලාවට පෙර අවසන් කිරීමට සිදු වූවා.

ශ්‍රී ලංකා පළමු ඉනිම

පන්දු වාර 61යි පන්දු 03ක් තුළ සියළු දෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු ගණන 204ක්.

තරගය ආරම්භ වූ ඊයේ (29) දිනයේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලය වූ නායක දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ සබඳතාව ලකුණු 106ක්.

පළමු තරගයේ ඉනිම් දෙකේ දී පිළිවෙලින් ලකුණු 147ක් සහ 83ක් ලබා ගත්තත් ඊයේ (29) දිනයේ ඔහුගේ ඉනිම අවාසනාවන්ත ලෙස ලකුණු 42කට සීමා වූවා.

කෙසේ වෙතත් සිය තුන්වැනි ජාත්‍යන්තර ටෙස්ට් අර්ධ ශතකය පැතුම් නිස්සංක විසින් ඊයේ (29) ලබා ගැනීමට සමත් වීම කැපී පෙනුනා.

පිටිය තෙත සහිත වීම නිසා ප්‍රමාද වී ඇරඹුණු තරගය ඊයේ (29) දින පැවැත්වුණේ පැය දෙක හමාරක පමණ කාලයක් පමණ යි.

ඊයේ (29) දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණූ 113ක් ලබා සිටියා.

අද (30) දිනයේ ශ්‍රී ලංකා පිතිකරුවන් හට විශාල ලකුණූ ප්‍රමාණයක් රැස් කර ගැනීමට හැකි වූයේ නැහැ.

දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 18ක් ලබා සිටි ඕෂද ප්‍රනාන්දු දැවී ගියේ මුලු ලකුණූ ගණන 149ක් බවට පත් වෙද්දියි.

එම කඩුල්ල දවා ගත්තේ ජොමෙල් වාරිකන් විසින්.

ඔහු යැවූ පන්දුව උඩ පන්දුවක් ලෙසින් ජෝෂුවා ද සිල්වා විසින් රැක ගත්තා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිම දුර්වල වීම ආරම්භ වූයේ හොඳින් පන්දුවට පහර දෙමින් සිටි පැතුම් නිස්සංක තුන්වැනි කඩුල්ල ලෙස දැවී යාමත් සමග යි.

වීරසැමි පෙර්මෞල් විසින් යැවූ පන්දුවට කඩුල්ල මුවා කරමින් ඔහු දැවී ගියා.

දැවී යන විට නිස්සංක ලකුණූ 73ක් ලබා සිටියා.

ඉන් අනතුරුව පිටියට පිවිසි සියල්ලෝම ලකුණූ 50ක් වැනි ප්‍රමාණයක් ඇතුළත දැවී යාම කැපී පෙනුනා.

ධනංජය සිල්වා හට ලබා ගත හැකි වූයේ ලකුණූ 02ක් පමණයි.

ඔහුගේ කඩුල්ල දවාගත්තේ ද පෙර්මෞල් විසින්.

කඩුලු රකින ක්‍රීඩක ජෝෂුවා ද සිල්වා අතට උඩපන්දුවක් ලබා දී ධනංජය දැවී ගියා.

මේ අතරතුරේ පාදයේ ආබාදයකට ලක් වූ ඇන්ජලෝ මැතිව්ස් හට යළි ක්‍රීඩාගාරයට යාමට සිදුවූයේ ශ්‍රී ලංකාවෙහි ඉනිම තවදුරටත් බොඳ කරමින්.

සිය පළමු ටෙස්ට් තරගයට සහභාගි වූ චරිත් අසලංක, පෙර්මෞල්ගේ පන්දුවකට කෘමා බෝනර් අතට උඩපන්දුවක් ලබා දෙමින් ලකුණූ 10කට දැවී ගියා.

දිනේෂ් චන්දිමාල් ලබා ගත්තේ ලකුණූ 02ක් පමණ යි.

ජොමෙල් වාරිකන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කරමින් ඔහු දැවී ගියා.

වාරිකන්ගේ පන්දුවකටම රමේෂ් මෙන්ඩිස් ද ලකුණු 05කට දැවී ගියා.

ශ්‍රී ලංකා 08 වැනි කඩුල්ල ලබා ගත්තේ වීරසැමි පෙර්මෞල් විසින්.

පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදී එලෙස දැවී ගියේ එක් ලකුණක් පමණක් ලබා සිටි ලසිත් ඇඹෙුල්දෙණිය යි.

ඒවන විට ශ්‍රී ලංකාව කඩුළු 08ක් දැවී ලකුණු 187ක් ලබා සිටියා.

සිය කණ්ඩායම අසීරු තත්ත්වයක සිටිනු දුටු ඇන්ජලෝ මැතිව්ස් සිය ආබාධ තත්ත්වය එලෙසම තිබියදී යළි පිටියට පිවිසියේ එම අවස්ථාවේදී යි.

කෙසේ වෙතත් ඔහුට කඩුළු අතර දිවීමට ඉතා අසීරු බව නිරීක්ෂණය වූවා.

මේ හේතුවෙන් මැතිව්ස් හතරේ සහ හයේ පහරවල් වෙත වැඩි නැඹුරුවක් දැක්වූවා.

ලකුණූ 12ක් ලබා සිටි සුරංග ලක්මාල්, පෙර්මෞල්ගේ පන්දුවකට ජොමෙල් වාරිකන් අතට උඩ පන්දුවක් ලබා දෙමින් 09 වැනි කඩුල්ල ලෙස දැවී ගියා.

අවසන් කඩුල්ල ද වැඩි වෙලා රැක ගෙන සිටීමට ශ්‍රී ලංකාවට නොහැකි වූ අතර ජොමෙල් වාරිකන් යැවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදී ඇන්ජලෝ මැතිව්ස් දැවී ගියේ ලකුණූ 29කට යි.

අනෙක් අන්තයේ නොදැවී සිටි ප්‍රවීන් ජයවික්‍රම එක් පන්දුවකට පමණක් මුහුණ දුන් අතර කිසිදු ලකුණක් ලබා ගත්තේ නැහැ.

පෙර්මෞල් වැඩ පෙන්වයි

පන්දු යැවීමේ දී වීරසැමි පෙර්මෞල් ලකුණු 35කට කඩුළු 05ක් බිඳ හෙලුවා.

එය ඔහු ජාත්‍යන්තර ටෙස්ට් තරගයක දී කඩුළු 05ක් ලබා ගත් පළමු අවස්ථාව යි.

ජොමෙල් වාරිකන් කඩුළු 04ක් දවාගත් අතර රොස්ටන් චේස් එක් කඩුල්ලක් බිඳහෙලුවා.

කොදෙව් පළමු ඉනිම

සිය පළමු ඉනිම ආරම්භ කළ කොදෙව් පිතිකරුවන් පසුගිය තරගයට වඩා වගකීම් සහගත අයුරින් පන්දුවට පහර දෙන අයුරු දක්නට ලැබුණා.

ආරම්භක පිතිකරුවන් වූ නායක ක්‍රෙයිග් බ්‍රත්වෙයිට් සහ ජෙරමයින් බ්ලැක්වුඩ් පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ ලකුණු සබඳතාව 62ක්.

එම සබඳතාව බිඳී ගියේ බ්ලැක්වුඩ්ගේ කඩුල්ල ප්‍රවීන් ජයවික්‍රම විසින් දවා ගැනීමත් සමග යි.

කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී ඔහු දැවී ගියා.

ඔහු ලබා ගත් ලකුණු ගණන 44ක්.

වර්ෂාව හේතුවෙන් තරගය අද දිනයට නතර කරන විට බ්‍රත්වෙයිට් ලකුණූ 22ක් ලබා සිටින අතර කෘමා බෝනර් එක් ලකුණක් ලබා සිටිනවා.

තරගයේ තෙවැනි දිනය හෙට (01) උදෑසන 9.45ට ආරම්භ වීමට නියමිත යි.

Rate this item
(0 votes)