April 26, 2024

කොදෙව්වන්ට අන්ත පරාජයක්! සිංහයෝ අඛණ්ඩ වාර්තාව රැකගත්තේ මෙහෙමයි! (VIDEO)

November 25, 2021

ICC ටෙස්ට් ලෝක ශූරතාවය යටතේ පැවැත්වුණු, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු ටෙස්ට් තරගය විශිෂ්ඨ අයුරින් ජය ගැනීමට ශ්‍රී ලංකාව අද (25) සමත් වූවා.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේ ලකුණු 187කින්.

තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න යි.

ඔහු පළමු ඉනිමේ දී ලකුණු 147ක් ලබා ගත් අතර දෙවැනි ඉනිමේ දී ලකුණු 83ක් රැස් කළා.

ගතවූ දින හතර කෙටියෙන්

ශ්‍රී ලංකා පළමු ඉනිම

21 වැනි දා මෙම තරගය ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ඊට පසු දා එනම් තරගයේ දෙවැනි දිනය වූ 22 වැනි දා ශ්‍රී ලංකා කණ්ඩායමේ සියළු දෙනා දැවී ගිය අතර ඔවුන් රැස් කළ ලකුණු ගණන 386ක්.

පළමු ඉනිමේ දී නායක දිමුත් කරුණාරත්න ලකුණූ 147ක් ද, ධනංජය ද සිල්වා ලකුණූ 61ක් ද, පැතුම් නිස්සංක ලකුණු 56ක් ද රැස් කළා.

කොදෙව් පළමු ඉනිම

කොදෙව් පළමු ඉනිම 22 වැනි දා පස්වරුවේ ආරම්භ වූ අතර එදින අවසන්වන විට ඔවුන් කඩුලු 06ක් දැවී ලබා සිටියේ ලකුණූ 113ක් පමණයි.

තරගයේ තුන්වැනි දිනය වූ පෙරේදා (23) දහවල් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූවා.

එබැවින් තරගය පෙරේදා (23) දිනට අතහැර දැමීමට තීරණය වූ අතර ඒවන විට කොදෙව්වන් සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 09ක් දැවී ලකුණූ 224ක් ලබා සිටියා.

ඊයේ (24), එනම් තරගයේ සිව්වැනි දිනය නියමිත වේලාවට ආරම්භ කිරීමට ද නොහැකි වූයේ පිටිය තෙත බරිත වී තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත් පැයක් පමණ ප්‍රමාද වී තරගය ආරම්භ වූ අතර අවසාන කඩුල්ල වෙනුවෙන් ජෝෂුවා ද සිල්වාට සහ ෂැනෝන් ගෙබ්‍රියල්ට ගොඩ නැගීමට හැකි වූයේ ලකුණූ 06ක සබඳතාවක් පමණයි.

ඒ අනුව සියළු දෙනා දැවී බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම ලකුණු 230කට සීමා වූවා.

කොදෙව් පළමු ඉනිමේ දී ප්‍රවීන් ජයවික්‍රම කඩුළු 04කුත්, රමේෂ් මෙන්ඩිස් කඩුළු 03කුත් බිඳ හෙලූ අතර ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල් සහ ලසිත් ඇඹුල්දෙණිය එක් කඩුල්ල බැගිනුත් බිඳ හෙලුවා.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම

ඉන් අනතුරුව ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භ වූවා.

කඩුළු 04ක් දැවී ලකුණු 191ක් රැස් කරගෙන සිටි මොහොතක ඉනිම අත්හිටුවීමට නායක දිමුත් කරුණාරත්න තීරණය කළා.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට තරග ජය සඳහා දෙවැනි ඉනිම වෙනුවෙන් ලබාගත යුතු වූ දැවැන්ත ඉලක්කය ලකුණූ 340ක් වූවා.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 03කුත්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 69කුත් ලබා ගත්තා.

කොදෙව් දෙවැනි ඉනිම

දැවැන්ත ලකුණු ඉලක්කයක් ලැබී තිබූ හෙයින් තරගය ජයග්‍රහණයෙන් කෙළවර කරගැනීම අසීරු වුවත් ජය පරාජයකින් තොරව අවසන් කරගැනීම කොදෙව්වන්ගේ ඉලක්කය වූවා.

ඒ අනුව ඔවුන් පිටියට පිවිසියේ තරගයේ අවසන් දිනය වූ පසු දින (අද) තෙක් කෙසේ හෝ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට මුහුණ දීමට යි.

කෙසේ වෙතත් ඔවුන්ගේ එම අරමුණ බොඳ කරමින් අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ඊයේ (24) දිනය අවසන්වන විට කොදෙව් කඩුළු 06ක් දැවී තිබුණේ 52ක් වැනි ඉතාමත් අඩු මුලු ලකුණු ගණනකට යි.

අද දිනයේ තොරතුරු

තරගයේ පස්වැනි සහ අවසන් දිනය අද (25) උදෑසන ආරම්භ වූවා.

ඇද හැලෙන වර්ෂාවෙන් මෙම තරගයට නිරන්තර බාධා එල්ල වූ අතර ඊයේ (24) රාත්‍රියේ මෙන්ම අද (25) උදෑසන ද ගාලු පිටියට වැසි ඇදහැළුනා.

කෙසේ වෙතත් ක්‍රීඩාංගන කාර්ය මණ්ඩලය ඉතා වෙහෙස වී ක්‍රියා කරමින් අද (25) උදෑසන නියමිත වේලාව වන විට ක්‍රීඩා කළ හැකි ලෙසින් පිටිය සැකසූ අයුරු ජාත්‍යන්තර විචාරකයින්ගේ පවා පැසසුමට භාජනය වූවා.

අද දිනය ආරම්භවන විට ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා අවශ්‍යව තිබූයේ කඩුළු 04ක් පමණයි.

කෙසේ වෙතත් දිනයේ මුල් කාලය තුළ එකදු කඩුල්ලක් හෝ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොහැකි වූයේ තරගය ජය පරාජයකින් තොරව අවසන් කරගැනීම සඳහා කෘමා බෝනර් සහ ජෝෂුවා ද සිල්වා ගත් දැඩි උත්සාහය හමුවේ යි.

07 වැනි කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා ලකුණු 100ක සබඳතාවක් ගොඩනැගීම කැපී පෙනුනා.

කෙසේ වෙතත් ඉනිමෙහි 57 වැනි පන්දු වාරය යැවූ ලසිත් ඇඹුල්දෙණිය ඔවුන් දෙදෙනාගේ එම සබඳතාව බිඳ හෙළීමට සමත් වූවා.

එලෙස දැවී ගියේ ලකුණු 54ක් ලබා සිටි ජෝෂුවා ද සිල්වා යි.

පිත්තෙහි වැදුණු පන්දුව විශිෂ්ඨ අයුරින් රැක ගත්තේ ධනංජය ද සිල්වා විසින්.

ඉනිමෙහි 61 වැනි පන්දුවාරය නිමා වීමත් සමග දිවා ආහාරය සඳහා තරගය නතර කෙරුණු අතර ඒවන විට කොදෙව්වන් සිය දෙවැනි ඉනිම සඳහා කඩුළු 07ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 125ක්.

දිවා ආහාර විවේකයෙන් අනතුරුව කෘමා බෝනර් සහ රහ්කීම් කෝන්වෝල් යම් ලකුණු සබඳතාවක් ගොඩ නැගීමට උත්සහ දැරුවත් කොදෙව් මුලු ලකුණු ගණන 149 බවට පත් වෙද්දී 08 වැනි කඩුල්ල ද දවා ගැනීමට ප්‍රවීන් ජයවික්‍රම සමත් වුණා.

එල්ල කළ පහරක් උඩ පන්දුවක් ලෙසින් සුරංග ලක්මාල් විසින් රැක ගැනීමෙන් එලෙස දැවී ගියේ රහ්කීම් කෝන්වෝල්.

ඔහු ලබා සිටි ලකුණු ගණන 13ක්.

මීලඟ පිතිකරු ලෙස පැමිණි ජොමෙල් වාරිකන් හට පන්දු 20කට මුහුණ දී ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණයි.

ලසිත් ඇඹුල්දෙණිය විසින් එවූ පන්දුව වාරිකන්ගේ පිත්තෙහි වැදී උඩපන්දුවක් බවට පත් වූ අතර එය රැක ගත්තේ ඕෂධ ප්‍රනාන්දු විසින්.

09 වැනි කඩුල්ල එලෙස දැවී යද්දී මුලු ලකුණු ගණන 156ක්ව තිබුණා.

තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකාවට එක් කඩුල්ලක් පමණක් අවශ්‍යව තිබූ ඒ මොහොතේ දී මීලඟ පිතිකරු ලෙස පැමිණියේ ෂැනෝන් ගේබ්‍රියල්.

ඔහුට එක් ලකුණක් හෝ ලබාගත නොහැකි වූ අතර ඔහුගේ කඩුල්ල දවාගත්තේ ද ලසිත් ඇඹුල්දෙණිය විසින්ම යි.

ගේබ්‍රියල්ගේ පිත්තෙහි වැදුණු පන්දුව මනරම් උඩපන්දුවක් ලෙසින් ධනංජය ද සිල්වා විසින් රැක ගත්තා.

සියළු දෙනාම දැවී ගොස් බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම එලෙස නිමා වී ශ්‍රී ලංකාවට ජය ලැබෙද්දී කොදෙව්වන් ලකුණූ 160ක් ලබා සිටියා.

නොදැවී අනෙක් අන්තයේ ක්‍රීඩා කරමින් සිටි කෘමා බෝනර් ලබා සිටි ලකුණු ගණන 68ක්.

ජයග්‍රහණය

ඒ අනුව ඉනිමෙහි 79 වැනි පන්දු වාරයේ දී ශ්‍රී ලංකාව ලකුණු 187කින් තරගය ජය ගැනීමට සමත් වුණා.

කොදෙව් දෙවැනි ඉනිමේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 46කට බිඳ හෙලූ කඩුළු ගණන 05ක්.

රමේෂ් මෙන්ඩිස් ලකුණූ 64කට කඩුළු 04ක් දවා ගත්තා.

ප්‍රවීන් ජයවික්‍රමට මෙම ඉනිම තුළ දී දවාගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණ යි.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉතිහාසයේ කිසිදු අවස්ථාවක දී ශ්‍රී ලංකාව තුළ දී ටෙස්ට් තරගයක් ජය ගෙන නොමැති අතර එම අඛණ්ඩ වාර්තාව තව දුරටත් රැක ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වීම විශේෂත්වයක්.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු ටෙස්ට් තරගය මෙසේ නිමා වූ අතර මෙම සංචාරයට අයත්ව තවත් එක් ටෙස්ට් තරගයක් ඉතිරිව තිබෙනවා.

ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතාගේ අවසන් තරගාවලිය වන්නේ ද මෙම තරගාවලිය යි.

බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිමෙහි කඩුළු බිඳවැටුණු ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්...

Rate this item
(1 Vote)
Last modified on Thursday, 25 November 2021 15:28