April 26, 2024

කොදෙව්වෝ හඬා වැටෙයි! සිංහයින්ගෙන් සුපිරි දස්කම් මාලාවක්! (VIDEO)

November 05, 2021

මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් තරගය ඊයේ (04) මැදියම් රැය ලඟා වෙද්දී නිමාවට පත් වූවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරගය නිමා වූයේ තුරුණු ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ඨ ජයක් අත් කරදෙමින්.

(වීඩියෝව මෙම පුවත අවසානයේ)

කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් නායක කීරන් පොලාඩ් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් ඉතාමත් දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් මනරම් ඉනිමක් ගොඩ නැගීමට සමත් වුණා.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ කුසල් ජනිත් පෙරේරා සහ පැතුම් නිස්සංක ලකුණු 42ක සබඳතාවක් ගොඩ නැගූ අතර ලකුණූ 21ක් ලබා සිටි කුසල් පෙරේරා දැවී ගියේ තරගයේ 06 වැනි පන්දු වාරයේ දී යි.

ඉන් පසුව පිටියට පිවිසි චරිත් අසලංක සහ පැතුම් නිස්සංක එක්ව ගොඩනැගූ 91ක ලකුණු සබඳතාව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින්ට මහත් පීඩනයක් ගෙන දුන්නා.

ඔවුන් දෙදෙනා එම සබඳතාවට වැය කළේ පන්දු 61ක් පමණයි.

පැතුම් නිස්සංක අර්ධ ශතකයක් ද වාර්තා කළ අතර ඔහු දැවී යද්දී ලකුණු 51ක් ලබා සිටියා.

සුපුරුදු පිතිකරණ පිළිවෙල වෙනස් කරමින් මීලඟ පිතිකරු ලෙස පැමිණියේ නායක දසුන් ශානක යි.

ඔහු සහ අසලංක එක්ව පන්දු 19ක් තුළ ලකුණු 46ක සබඳතාවක් ගොඩ නැගුවේ බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන්ට හිසරදයක් බවට පත් වෙමින්.

කෙසේ වෙතත් එම සබඳතාව බිඳී ගියේ චරිත් අසලංකගේ දැවී යාමත් සමග යි.

පන්දු 41ක් තුළ අසලංක ලබා ගත් ලකුණු ගණන 68ක්.

එයට එක් හයේ පහරක් සහ හතරේ පහර 08ක් ඇතුළත් වූවා.

අසලංකගේ ඉනිම නිමා වූයේ මේ මොහොතවන විට මෙම තරගාවලිය තුළ එක් ක්‍රීඩකයෙකු ලබාගෙන ඇති වැඩිම ලකුණූ ප්‍රමාණයටද හිමිකම් කියමින්.

නායක දසුන් ශානක පන්දු 14ක් තුළ නොදැවී ලකුණු 25ක් රැස් කළා.

චාමික කරුණාරත්න නොදැවී ලකුණු 03යි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03ක් පමණක් දැවී ලබා ගත් ලකුණු ගණන 189ක්.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන්ට ලකුණු 190ක අභියෝගාත්මක ඉලක්කයක් හිමි වූවා.

එය පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියක් තුළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලැබී ඇති දෙවැනි විශාලතම ඉලක්කය ද වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් පිතිකරණයේ දී මෙන්ම පන්දු යැවීම සහ පන්දු රැකීම අතින් ද විශිෂ්ඨ අයුරින් ක්‍රීඩා කිරීමට ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වූවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රබලතම සාමාජිකයෙකුවන ක්‍රිස් ගේල් ප්‍රථම කඩුල්ල ලෙස දැවී ගියා.

ඔහුට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණයි.

බිනුර ප්‍රනාන්දු යැවූ පන්දුවකට, වනිඳු හසරංග වෙත උඩ පන්දුවක් ලබා දෙමින් ඔහු දැවී ගියේ ඉනිමෙහි දෙවැනි පන්දු වාරය ආරම්භයේ දී යි.

ඉන් නොනැවතුණු බිනුර දෙවැනි කඩුල්ල ද එම පන්දුවාරය තුළ ලබා ගත්තේ කොදෙව්වන්ගේ මුලු ලකුණු ගණන 10ක් බවට පත් වන විට යි.

පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදී එලෙස දැවී ගියේ එවින් ලෙවිස්.

ඔහුට ලබා ගත හැකි වූයේ ලක්ණූ 08ක් පමණ යි.

ඉන් අනතුරුව නිකලස් පූරාන් සහ රොස්ටන් චේස් එක්ව ලකුණු 37ක සබඳතාවක් ගොඩ නැගූ නමුදු චාමික කරුණාරත්න යැවූ පන්දුවකට චේස් එල්ල කළ පහරක් ඉතා මනරම් උඩපන්දුවක් ලෙසින් රැක ගැනීමට භානුක රාජපක්ෂ සමත් වීමත් සමග එම සබඳතාව බිඳී ගියා.

චේස් දැවී ගියේ ලකුණු 09කට යි.

බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ තෙවැනි කඩුල්ල එලෙස දැවී යද්දී මුලු ලකුණු ගණන සටහන් වූයේ 47ක් ලෙසින්.

මීලඟට පැමිණි ක්‍රීඩකයා වූ ෂිම්රාන් හෙට්මයර් සහ නිකලස් පූරාන් ස්ථාවර වෙමින් ක්‍රීඩා කිරීමට උත්සහ ගත් අතර ඔවුන් දෙදෙනා ලකුණු 30ක සබඳතාවක් ගොඩ නැගුවා.

කෙසේ වෙතත් අර්ධ ශතකය අභියස සිටි පූරාන් දැවී ගියේ දුෂ්මන්ත චමීරගේ පන්දුවකට යි.

පූරාන් එයට දැවැන්ත පහරක් එල්ල කිරීමට උත්සහ ගත් නමුත් එය අසීරු උඩපන්දුවක් ලෙස ධනංජය ද සිල්වා විසින් රැක ගත්තා.

පන්දු 33ක් තුළ පූරාන් රැස් කරගෙන සිටි ලකුණු ගණන 46ක්.

සිව්වැනි කඩුල්ල එලෙස දැවී යද්දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණූ 77ක් ලබා සිටියා.

හය වැනි පිතිකරු ලෙස පැමිණි ප්‍රබල කොදෙව් සාමාජිකයෙකුවන අන්ඩ්‍රේ රසල් හට මුහුණ දීමට හැකි වූයේ පන්දු 03කට පමණ යි.

චාමික කරුණාරත්නගේ පන්දුවකට එල්ල කළ පහරක් චාමික විසින්ම උඩපන්දුවක් ලෙස රැක ගැනීමෙන් ඔහු දැවී ගියේ ලකුණු 02කට යි.

ලොව හොඳම විස්සයි විස්ස පන්දු යවන්නා ලෙස කිරුළු පලන් වනිඳු හසරංග යැවූ පන්දුවකට බටහිර ඉන්දීය කොදෙව් නායක කීරන් පොලාඩ් දැවී ගියා.

පොලාඩ් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම එලෙස දැවී ගියේ එකදු ලකුණක් හෝ නොලබා යි.

අනතුරුව ජේසන් හෝල්ඩර් පැමිණ ඉනිම ගොඩ ගැනීමට තැත් කළත් නායක දසුන් ශානක යැවූ පන්දුවකට එල්ල කළ පහරක් උඩ පන්දුවක් ලෙස චාමික කරුණාරත්න විසින් රැක ගැනීමත් සමග ඔහු දැවී ගියා.

හෝල්ඩර් ලබාගත්තේ ලකුණූ 08ක් පමණ යි.

ඉන් පසු හසරංග යළි ක්‍රියාත්මක වූ අතර ලකුණු දෙකක් ලබා සිටි ඩ්වේන් බ්‍රාවෝ දවා ගන්නට ඔහු සමත් වූයේ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමට ඉඩ සළස්වමින්.

08 වැනි කඩුල්ල එලෙස දැවී යද්දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ මුලු ලකුණු ගණන 131ක් බවට පත්ව තිබුණා.

කෙසේ වෙතත් ෂිම්රන් හෙට්මයර් බටහිර ඉන්දීය කොදෙව් ඉනිමෙහි බර තනිව කරට ගෙන ක්‍රීඩා කළ අතර දැවැන්ත පහරවල්වලට පවා යමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා යොමු කරවීමට ඔහු උත්සහ දැරුවා.

කෙසේ වෙතත් අනෙක් ක්‍රීඩකයින් හට හෙට්මයර්ට උදව් කිරීමට නොහැකි වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසය හමුවේ යි.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ ඉනිම කඩුළු 08ක් දවා, ලකුණු 169කට සීමා කරමින්.

ඒ අනුව ශ්‍රී ලංකාව ඊයේ තරගය ලකුණු 20කින් ජයගත්තා.

පන්දු යැවීමේ දී බිනුර ප්‍රනාන්දු, චාමික කරුණාරත්ස සහ වනිඳු හසරංග කඩුලූ 02 බැගින් බිඳහෙළුවා.

දුෂ්මන්ත චමීර සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් ලබා ගත්තා.

තරගයේ වීරයා වූයේ චරිත් අසලංක යි.

තරගයේ විශේෂ අවස්ථා පහතින්..

Rate this item
(1 Vote)
Last modified on Friday, 05 November 2021 08:53