May 17, 2024

තරගයේ අඩක් නිමයි! අසලංක සහ නිස්සංක ඉදිරියේ කොදෙව්වෝ අසරණ වෙයි!

November 04, 2021

මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවන අවසන් තරගය මේවන විට අබුඩාබි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව යි.

කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් නායක කීරන් පොලාඩ් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් ඉතාමත් දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් මනරම් ඉනිමක් ගොඩ නැගීමට සමත් වුණා.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ කුසල් ජනිත් පෙරේරා සහ පැතුම් නිස්සංක ලකුණු 42ක සබඳතාවක් ගොඩ නැගූ අතර ලකුණූ 21ක් ලබා සිටි කුසල් පෙරේරා දැවී ගියේ තරගයේ 06 වැනි පන්දු වාරයේ දී යි.

ඉන් පසුව පිටියට පිවිසි චරිත් අසලංක සහ පැතුම් නිස්සංක එක්ව ගොඩනැගූ 91ක ලකුණු සබඳතාව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින්ට මහත් පීඩනයක් ගෙන දුන්නා.

ඔවුන් දෙදෙනා එම සබඳතාවට වැය කළේ පන්දු 61ක් පමණයි.

පැතුම් නිස්සංක අර්ධ ශතකයක් ද වාර්තා කළ අතර ඔහු දැවී යද්දී ලකුණු 51ක් ලබා සිටියා.

සුපුරුදු පිතිකරණ පිළිවෙල වෙනස් කරමින් මීලඟ පිතිකරු ලෙස පැමිණියේ නායක දසුන් ශානක යි.

ඔහු සහ අසලංක එක්ව පන්දු 19ක් තුළ ලකුණු 46ක සබඳතාවක් ගොඩ නැගුවේ බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන්ට හිසරදයක් බවට පත් වෙමින්.

කෙසේ වෙතත් එම සබඳතාව බිඳී ගියේ චරිත් අසලංකගේ දැවී යාමත් සමග යි.

පන්දු 41ක් තුළ අසලංක ලබා ගත් ලකුණු ගණන 68ක්.

එයට එක් හයේ පහරක් සහ හතරේ පහර 08ක් ඇතුළත් වූවා.

මෙම ඉනිමත් සමග මේ මොහොතවන විට මෙම තරගාවලිය තුළ එක් ක්‍රීඩකයෙකු ලබාගෙන ඇති වැඩිම ලකුණූ ප්‍රමාණයටද හිමිකම් කීමට චරිත් අසලංකට හැකිව තිබෙනවා.

නායක දසුන් ශානක පන්දු 14ක් තුළ නොදැවී ලකුණු 25ක් රැස් කළා.

චාමික කරුණාරත්න නොදැවී ලකුණු 03යි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03ක් පමණක් දැවී ලබා ගත් ලකුණු ගණන 189ක්.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන්ට ලකුණු 190ක දැවැන්ත ඉලක්කයක් හිමිවී තිබෙනවා.

එය පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියක් තුළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලැබී ඇති දෙවැනි විශාලතම ඉලක්කය යි.

බටහිර ඉන්දීය කොදෙව් පිළිතුරු ඉනිම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 04 November 2021 21:39