May 17, 2024

අද තරගය 2022ට වැදගත් වන්නේ ඇයි? තරගයට පෙර ඔබ දැනගත යුතුම කරුණු!

November 04, 2021

මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය තුළ ශ්‍රී ලංකාව සහභාගීවන අවසන් තරගය තවත් විනාඩි කිහිපයකින් ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව යි.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (04) පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිත යි.

අද තරගය වැදගත්

මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් මේවන විටත් ශ්‍රී ලංකාව ඉවත් වී ඇති බැවින් බොහෝ දෙනා අදහස් පළ කරන්නේ අද තරගය එතරම් වැදගත් එකක් නොවන බවට යි.

එහෙත් අද පැවැත්වෙන තරගයේ ජයග්‍රහණය ද අතිශය වැදගත් එකක් ලෙස හැඳින්වීමට හේතුවක් තිබෙනවා.

මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ කණ්ඩායම් අතුරින් මුල් 08 දෙනා අතරට පැමිණියහොත් එය මීලඟ ලෝක කුසලාන තරගාවලියට ඉතා තීරණාත්මක ලෙස බලපෑම ඊට හේතුවයි.

මුල් 08 අතරට පැමිණීම

මෙවර පන්දුවාර ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ වටයකට සහභාගී වීමට සිදුවීම විශේෂයෙන් කැපී පෙණුනා.

එම සුදුසුකම් ලැබීමේ වටයේ දී ශ්‍රී ලංකාව ඇතුළත් වූ A කාණ්ඩය යටතේ නැමීබියාව, අයර්ලන්තය සහ නෙදර්ලන්තය තරග කළ අතර B කාණ්ඩය යටතේ ක්‍රීඩා කළ කණ්ඩායම් වූයේ ස්කොට්ලන්තය, බංග්ලාදේශය, ඕමානය සහ පැපුවා නිව් ගිනියාව යි.

එංගලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය, නවසීලන්තය, ඉන්දියාව සහ ඇෆ්ඝනිස්තානය යන රටවල්වලට සුදුසුකම් ලැබීමේ වටයකට සහභාගී වීමේ අවශ්‍යතාවක් හටගත්තේ නැහැ.

මෙවර තරගාවලිය අවසානයේ දී දක්ෂතා අනුව මුල් කණ්ඩායම් 08 තුළට ශ්‍රී ලංකාවට ඇතුළත්වීමේ හැකියාව ලැබුණහොත්, ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිතව ඇති මීළඟ පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී සුදුසුකම් ලැබීමේ වටයට සහභාගී නොවී කෙලින්ම සුපිරි 12 දෙනාගේ වටයට යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවනු ඇති.

එම නිසා අද පැවැත්වීමට නියමිතව ඇති තරගය ඉතා හොඳින් ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් වනවා.

මෙම තරගය ජය ගැනීම බටහිර ඉන්දීය කොදෙව්වන්ට ද වැදගත් වී ඇත්තේ එම හේතුව නිසාම යි.

දැන් ඉන්න තැන

මෙම තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටය තුළ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් සිටින්නේ පළමු කාණ්ඩයේ යි.

මේවන විට පළමු කාණ්ඩයේ ලකුණු සටහනෙහි පෙරමුණ ගෙන ඇත්තේ එංගලන්තය යි.

දෙවැනි ස්ථානය ඔස්ට්‍රේලියාවටත්, තෙවැනි ස්ථානය දකුණූ අප්‍රිකාවටත් හිමි වී ඇති අතර ශ්‍රී ලංකාවට හිමිවී ඇත්තේ සිව්වැනි ස්ථානය යි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පස්වැනි ස්ථානයේ පසුවනවා.

අවසන් ස්ථානයේ රැඳී සිටින්නේ බංග්ලාදේශ කණ්ඩායම යි.

අද තරගයට සහභාගී වන ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන දෙපාර්ශවයම මෙම වටයේ දී තරග 02ක් ජය ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මෙම වටයේ දී ශ්‍රී ලංකාව මේවන විට තරග 04ක් ක්‍රීඩා කර ඇති අතර කොදෙව්වන් ක්‍රීඩා කර ඇත්තේ තරග 03ක් පමණ යි.

ශ්‍රේණිගත කිරීම්

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර ඇති නවතම පන්දුවාර විස්ස ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව සිටින්නේ එම ලැයිස්තුවේ 10 වැනි ස්ථානයේ යි.

බටහිර ඉන්දීය කොදෙව්වන් එහි 08 වැනි ස්ථානයේ පසුවනවා.

ශ්‍රේණිගත කිරීම් දෙස අවධානය යොමු කිරීමේ දී ශ්‍රී ලංකාවට වඩා කොදෙව්වන් ශක්තිමත් ස්ථානයක පසු වුවත්, පසුගිය තරග දෙස විමසා බැලීමේ දී කොදෙව් ක්‍රීඩකයින් මඳක් පසුබා ඇති බව ද පෙනෙන්නට තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය කාලය තුළ දක්ෂතා අතින් කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති බව ද ජාත්‍යන්තරයේ පවා කතාබහට ලක්වන කරුණක් වී තිබීම ද විශේෂත්වයක්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 04 November 2021 19:08