April 26, 2024

විශේෂ සැළසුමක්! අද තරගයට පෙර ඔබ දැනගත යුතුම කරුණු!

තීරණාත්මක තරගය

ලෝක කුසලාන පන්දු වාර විස්ස තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් වූ මෙන්ම තීරණාත්මක වූ ද තරගයක් අද (28) රාත්‍රී 7.30ට පැවැත්වීමට නියමිතයි.

සුපිරි 12 වටයට තේරී පත්ව ඇති කණ්ඩායම් කාණ්ඩ දෙකෙන් පළමු කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වෙන අද තරගයේ දී ශ්‍රී ලංකාව හට හමුවන්නේ ප්‍රබල ඔස්ට්‍රේලියාව යි.

මූලික වටයට අන්තර්ගත වූ තරග තුනේ දී මෙන්ම සුපිරි 12 වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට මෙතෙක් හමු වී ඇත්තේ නැමීබියාව, අයර්ලන්තය, නෙදර්ලන්තය සහ බංග්ලාදේශය යි.

ඒ අනුව බලන විට මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වී ඇති කණ්ඩායම් අතුරින් අති ප්‍රබල කණ්ඩායමක් ලෙස සැළකිය හැකි පාර්ශවයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හමුවන්නේ ප්‍රථම වරටයි.

සිංහයෝ සහ කැංගරුවෝ

ICC පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේවන විට සිටින්නේ 06 වැනි ස්ථානයේ යි.

ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීමෙහි 09 වැනි ස්ථානයේ පසුවනවා.

මෙම තරගාවලියේ මේවන විට පැවැත්වෙන සුපිරි 12 දෙනාගේ වටයට අදාළ පළමු කාණ්ඩයේ ලකුණු සටහන දෙස අවධානය යොමු කිරීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිටින්නේ දෙවැනි ස්ථානයේ යි.

ඔස්ට්‍රේලියාව තුන්වැනි ස්ථානයේ පසුවනවා.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව යන දෙපාර්ශවයම ප්‍රසාද ලකුණු දෙක බැගින් ලබා සිටියත් මේ මොහොතවන විට ශ්‍රී ලංකාව ඉහළින් සිටින්නේ දල ලකුණූ ලබා ගැනීමේ වේගය අනුව යි.

ශ්‍රී ලංකාවේ දල ලකුණූ ලබා ගැනීමේ වේගය +0.583ක්වන අතර ඔස්ට්‍රේලියාවේ එම අගය +0.253ක් වනවා.

කණ්ඩායම් දෙකම මෙම වටයේ දී මෙතෙක් ක්‍රීඩා කර ඇත්තේ එක් තරගයක් බැගින් පමණක්වන අතර දෙපාර්ශවයම තමන් ක්‍රීඩා කළ තරග ජයග්‍රහණයෙන් කෙළවර කර තිබෙනවා.

වසර දෙකකට පසු ප්‍රථම හමුව

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ කිසිදු ආකාරයේ තරගයකින් එකිනෙකා හමු වී නැහැ.

මෙම තත්ත්වය මත ක්‍රිකට් විචාරකයින් සඳහන් කරන්නේ එම කාලය තුළ එකිනෙකා නොදත් වෙනස්කම් කණ්ඩායම් දෙකෙහිම සිදුව ඇති බව යි.

එය කණ්ඩායම් දෙකටම අභියෝගාත්මක බව ඔවුන් පවසනවා.

ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් පිටියේ දී ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව තරග 16ක් මෙතෙක් ක්‍රීඩා කර ඇති අතර ඉන් 08ක් ශ්‍රී ලංකාවත් 08ක් ඔස්ට්‍රේලියාවත් ජයග්‍රහණය කොට තිබෙනවා.

කෙසේ වෙතත් දෙපාර්ශවය ක්‍රීඩා කළ අවසන් තරග 04ම ජයගත්තේ ඔස්ට්‍රේලියාව යි.

මේ අතර ශ්‍රී ලංකාව විස්සයි 20 පිටියේ සහභාගී වී ඇති අවසන් තරග 05න් 04ක්ම ජය ගෙන තිබෙනවා.

එහෙත් ඔස්ට්‍රේලියාව සහභාගී වී ඇති අවසන් විස්සයි 20 තරග 05න් ජය ගෙන ඇත්තේ 02ක් පමණ යි.

විශේෂ සැළසුමක්

මේ අතර මෙම තරගයේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කරන ආකාරය පිළිබඳ විශේෂ වූ සැළසුමක් සකසා ඇති බව චරිත් අසලංක මාධ්‍ය හමුවේ පවසා සිටියා.

එම සැළසුම කණ්ඩායමේ 11 දෙනාම පැහැදිළි ලෙස තේරුම් ගෙන ඇති බව යි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම සැළසුම සැකසීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දවසක් තිස්සේ සාකච්ඡා කළ බවත් ඔහු අනාවරණය කරනවා.

මෙතෙක් මෙම තරගාවලියේ දී හමු වූ අනෙක් කණ්ඩායම්වලට වඩා ඔස්ට්‍රේලියා කණ්ඩායම හාත්පසින් වෙනස් බව පෙන්වා දෙන අසලංක වැඩිදුරටත් පවසා සිටියේ ඔස්ට්‍රේලියාවේ මූලික වාසිය වන්නේ වේගපන්දු යවන්නන්වන බැවින් ශ්‍රී ලංකා පිතිකරුවන් එය ඉලක්ක කරගෙන දින දෙකක් පුහුණුවීම්වල යෙදුණු බව යි.

එමෙන්ම ඔස්ට්‍රේලියාව සහභාගී වූ තරගවල වීඩියෝ දර්ශන නරඹමින් එම ක්‍රීඩකයින්ව විශ්ලේෂනය කිරීමට ද ශ්‍රී ලංකා කණ්ඩායම කටයුතු කළ බව අසලංක පවසා සිටියා.

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ

මෙම තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන බලඇණිය ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයින් පවා පැසසුමට ලක් වෙමින් පවතිනවා.

දුෂ්මන්ත චමීර, චාමික කරුණාරත්න සහ ලහිරු කුමාර වේගපන්දු යවන්නන් ලෙස මෙතෙක් පැවැති තරග ඉතා හොඳින් ක්‍රීඩා කිරීමට සමත් වුණා.

එමෙන්ම පසුගිය තරගවල දී දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ වෙත දැඩි අවධානයක් යොමු වූවා.

පන්දු යැවීමේ දී වනිඳු හසරංගගේ ආක්‍රමණය ද සුළු කොට තැකිය හැකි නැහැ.

තීක්ෂණ යළි එයි

මේ අතර පෙර පැවසූ පරිදිම ක්‍රිකට් ලෝකයේ දැඩි අවධානයක් යොමුව ඇති මහීෂ් තීක්ෂණ අද තරගයට සහභාගිවන බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා ද ඒ බව තහවුරු කළා.

ඔස්ට්‍රේලියානු පිතිකරුවන් මේවන තෙක් තීක්ෂණට මුහුණ දී නොමැති වීම ශ්‍රී ලංකාවට වාසි සහගත විය හැකියි.

ඒ අනුව බිනුර ප්‍රනාන්දු අද දිනයේ තරගයට සහභාගීවන කණ්ඩායමෙන් බොහෝ දුරට ඉවත් කිරීමට ඉඩ තිබෙනවා.

ආබාධය

පසුගිය 22 වැනි දා නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවැති තරගයේ දී මහීෂ් තීක්ෂණ මස්පිඬු වේදනාවකට ලක් වූවා.

ඉන් ඉක්මන් සුවය ලැබීමට ඔහුට හැකි වුවත් පූර්ව ආරක්ෂක පියවරක් ලෙස තීක්ෂණ දින කීපයක් විවේක ගැන්වීමට කණ්ඩයමෙහි වෛද්‍යවරුන් සහ භෞතචිකිත්සකවරුන් තීරණය කළා.

ඒ අනුව ඔහුට පසුගිය 24 වැනි දා පැවැති ශ්‍රී ලංකාව සුපිරි 12 වටයේ දී සහභාගී වූ පළමු තරගය (බංග්ලාදේශයට එරෙහිව) අහිමි වූවා.

මෙම තරගාවලියේ දී තීක්ෂණ අවසන් වරට සහභාගී වූ නෙදර්ලන්තයට එරෙහි තරගයේ දී ඔහු එක් පන්දුවාරයක් පමණක් යැවූ අතර එම පන්දුවාරය තුළ ලකුණු 03කට කඩුළු දෙකක් ලබා ගත්තා.

මීලඟ අජන්ත මෙන්ඩිස්

මෙම තරගාවලියේ දී කැපීපෙනෙන දක්ෂතා දැක්වූ තීක්ෂණව විචාරකයින් හඳුන්වන්නේ මීලඟ අජන්ත මෙන්ඩිස් ලෙස යි.

යුද හමුදා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකුවන තීක්ෂණගේ එහි පුහුණුකරු වන්නේ ද අජන්ත මෙන්ඩිස් වීම විශේෂත්වයක්.

මෙම තරගාවලිය තුළ තරග 03කට පමණක් සහභාගී වී ඔහු ලබා සිටින කඩුළු ගණන 08ක්.

එය මෙම තරගාවලිය තුළ පන්දු යවන්නෙකු ලබා ගත් තෙවැනි වැඩිම කඩුළු සංඛ්‍යාව යි.

ඔස්ට්‍රේලියා පන්දු යවන්නෝ

ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙන්ම ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ද සුවිශේෂී දක්ෂතා දක්වන වේගපන්දු යවන්නන් කිහිපදෙනෙකුම සිටිනවා.

මිචෙල් ස්ටාක්, පැට් කමින්ස් ජෝෂ් හේස්ල්වුඩ් වැනි ක්‍රීඩකයින් උදාහරණ ලෙස දැක්විය හැකියි.

ශ්‍රී ලංකා පිතිකරු චරිත් අසලංක ද අදහස් ප්‍රකාශ කරමින් පැවසූවේ ඔස්ට්‍රේලියානු වේගපන්දු බලඇණිය අභියෝගාත්මක වනු ඇති බවට යි.

එමෙන්ම ඇඩම් සම්පා වැනි දඟ පන්දු යවන්නන්  පිළිබඳව ද ශ්‍රී ලංකා පිතිකරුවන් තියුණු ලෙස අවධානය යොමු කළ යුතුවනවා.

ශ්‍රී ලංකා පිතිකරුවෝ

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් මෙම තරගාවලිය පුරාම එක ලෙස අසාර්ථක වූ අයුරු අප මීට පෙර පුවත් හරහා ද සංවාදයට ලක් කළා.

දිගින් දිගටම ලද අසාර්ථකත්වය හමුවේ දිනේෂ් චන්දිමාල් මේවන විට කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට කණ්ඩායම තුළට ගෙන ආ චරිත් අසලංක, ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරගයේ දී (බංග්ලාදේශයට එරෙහිව) ඉහළ දක්ෂතා පෙන්වූවා.

ඔහු එම තරගයේ දී නොදැවී ලකුණු 80ක් ලබා ගත්තේ පන්දු 49ක් තුළ යි.

එය මෙම තරගාවලිය තුළ මෙතෙක් ක්‍රීඩකයෙකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව යි.

පසුගිය පුහුණු තරග සහ මූලික වටයේ තරග දෙස බැලූ විට පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු පිළිබඳව බලාපොරොත්තු තැබිය හැකි වුවත් හිටපු නායකයෙකු මෙන්ම වත්මන් කණ්ඩායමේ වඩාත් අත්දැකීම් සහිත පිතිකරුවන කුසල් ජනිත් පෙරේරා හට එතරම් සාර්ථකත්වයක් පෙන්වන්නට අවස්ථාව ලැබුණේ නැහැ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරණ ලැයිස්තුවේ ශක්තිමත් බව පසුගිය තරගවල දී හොඳින් ඔප්පු වූවා.

වනිඳු හසරංග, භානුක රාජපක්ෂ සහ චාමික කරුණාරත්න මෙන්ම නායක දසුන් ශානක ද මැදපෙල ශක්තිමත් කරනු ඇති.

ඔස්ට්‍රේලියා පිතිකරුවෝ

ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරුවන් මෙන්ම ඔස්ට්‍රේලියා මුල් පෙල පිතිකරුවන් ද ඔවුන් මෙම තරගාවලිය තුළ සහභාගී වූ එකම තරගයේ දී අසාර්ථක වූ අයුරු පෙනෙන්නට වූවා.

පසුගිය 23 වැනි දා දකුණු අප්‍රිකාවට එරෙහි තරගය ඔවුන් ජය ගත්තත් දකුණූ අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ ඔස්ට්‍රේලියානු මුල් පිතිකරුවන් අසරණ වූ අයුරු දක්නට ලැබුණා.

නායක ඒරන් ෆින්ච්, ඩේවිඩ් වෝනර්, මිචෙල් මාෂ් වැනි ප්‍රබල පිතිකරුවන්ගේ අසාර්තකත්වය එහි දී කැපී පෙනුනා.

එදින තරගයේ ඔස්ට්‍රේලියා පළමු කඩුළු 03 බිඳ වැටුනේ ලකුණු 38කට යි.

ශ්‍රී ලංකාවට ද ඒ අයුරින් ඔස්ට්‍රේලියා මුල් පෙල කඩුලු සීමිත ලකුණු ප්‍රමාණයක දී ලබා ගැනීමට හැකි වුවහොත්, එය තරගය ජය ගැනීමේ තීරණාත්මක සාධකයක් වනු ඇති.

කෙසේ වෙතත් ස්ටීව් ස්මිත්, ග්ලේන් මැක්ස්වෙල් සහ මාකස් ස්ටෝනිස් වැනි මැදපෙළ පිතිකරුවන් අවතක්සේරු කිරීමට ද නොහැකි යි.

කණ්ඩායම් සංයුතිය

අද තරගය සඳහා බොහෝ විට සහභාගී විය හැකි බවට පැවසෙන ශ්‍රී ලංකා කණ්ඩායම:

කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, දසුන් ශානක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර

අද තරගය සඳහා බොහෝ විට සහභාගී විය හැකි බවට පැවසෙන ඔස්ට්‍රේලියා කණ්ඩායම:

ඒරන් ෆින්ච්, ඩේවිඩ් වෝනර්, මිචෙල් මාෂ්, ස්ටීව් ස්මිත්, ග්ලේන් මැක්ස්වෙල්, මාකස් ස්ටෝනිස්, මැතිව් වේඩ්, පැට් කමින්ස්, මිචෙල් ස්ටාක්, ඇඩම් සම්පා, ජෝෂ් හේස්ල්වුඩ්

පිටියේ තත්ත්වය

අද තරගය පැවැත්වෙන්නේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ යි.

මෙය රාත්‍රී තරගයක්වන බැවින් ඩුබායිහි කාලගුණික තත්ත්වය අනුව පිටිය පින්න සහිත වීම අනිවාර්ය යි.

ඒ අනුව තෙත සහිත පිටිය කණ්ඩායම් දෙකටම තීරණාත්මක ලෙස බලපානු ඇති.

මේ හේතුවෙන් කාසියේ වාසිය ලබා ගන්නා නායකයා ඒ පිළිබඳව අවධානය යොමු කොට තම තීරණය ප්‍රකාශ කරනු ඇති බව අනිවාර්යයි.

කාසියේ වාසිය ලබා ගන්නා කණ්ඩායම බොහෝ විට ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කරනු ඇති බවට යි විචාරකයින් මත පළ කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 October 2021 18:35