May 17, 2024

සුපිරි 12 දෙවැනි තරගය නිමයි! එංගලන්තය වැඩ පෙන්වයි!

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ දෙවැනි තරගය මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වූවා.

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැති තරගයෙන් දැවැන්ත ජයක් වාර්තා කිරීමට සමත් වූයේ එංගලන්තයයි.

කාසියේ වාසිය දිනූ එංගලන්ත නායකයාගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසුණූ කොදෙව් පිතිකරුවන් සිය ඉනිම අවසන් කළේ කිසිසේත් බලාපොරොත්තු නොවූ ආකාරයෙන්.

එංගලන්ත පන්දු යවන්නන් හමුවේ සියළු දෙනා දැවී ඔවුන්ට ලබාගත හැකි වූයේ ලකුණු 55ක් පමණයි.

අවසන් කඩුල්ල දැවී ගියේ තරගයේ 15 වැනි පන්දුවාරය ආරම්භයේ යි.

වැඩිම ලකුණු ලැබූ කොදෙව් ක්‍රීඩකයා වූ ක්‍රිස් ගේල් හට වාර්තා කිරීමට හැකි වූයේ ලකුණු 13ක් පමණ යි.

පන්දු යැවීමේ දී අදිල් රෂීඩ් ලකුණු 02කට කඩුළු 04ක් දවා ගනිමින් සුපිරි දක්ෂතාවක් දැක්වූවා.

ඔහුට අමතරව මොයීන් අලී සහ ටයිමල් මිල්ස් කඩුළු 02 බැගින් ද ක්‍රිස් වෝක්ස් සහ ක්‍රිස් ජෝඩන් කඩුළු 01 බැගින්ද බිඳහෙළුවා.

කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි එංගලන්ත පිතිකරුවන්ට ලැබී තිබුණේ ඉතා පහසු ලකුණූ 56ක ඉලක්කයක් වූවත්, එංගලන්ත පිතිකරුවන්ට දැඩි පීඩනයක් ගෙන දීමට බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් සමත් වූවා.

එහි ප්‍රතිඵලයක් ලෙසයි එංගලන්ත කඩුලු 04ක් ඉතා අඩු ලකුනු ගණනකට දැවී ගියේ.

කෙසේ වෙතත් තරගයේ 09 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වෙද්දී එංගලන්ත කණ්ඩායම ජයග්‍රාහී ලකුණ වාර්තා කළා.

ඒ තවත් පන්දු 70ක් ඉතිරිව තිබියදි යි.

ඒ අනුව ඔවුන් කඩුළු 04කට ලකුණූ 56ක් ලබා තරගය ජය ගත්තේ කඩුළු 06කින්.

වැඩිම ලකුණු ගත් එංගලන්ත පිතිකරුවා වූ ජෝස් බට්ලර් ලකුණු 24ක් වාර්තා කළා.

පන්දු යැවීමේ දී අකේල් හුසේන් ලකුණූ 24කට කඩුළු 02ක් ලබා ගත්තා.

රවී රාම්පෝල් ලකුණූ 14කට එක් කඩුල්ලයි.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 23 October 2021 22:15