April 24, 2024

වසර 10ක වාර්තාවක් බිඳ වැටෙයි! කොදෙව්වෝ පරාජයෙන් බේරීමේ සටනක!

December 03, 2021

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම අත්හිටුවීමට නායක දිමුත් කරුණාරත්න මීට සුළු මොහොතකට පෙර තීරණය කළා.

ඒ 09 කඩුල්ල ලෙස ලසිත් ඇඹුල්දෙණිය දැවී යාමත් සමග යි.

මෙම ඉනිමට අගනා දායකත්වයක් ලබා දුන් ඇඹුල්දෙණිය ලකුණු 39කට දැවී ගියා.

ඒ ජේසන් හෝල්ඩර්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්.

ඉනිම අත්හිටුවන විට අනර්ග ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 155ක් ලබා සිටියා.

වසර 10කට පසු අලුත් කළ වාර්තාව

ඊයේ (02) දිනයේ අග භාගයේ පිටියට පිවිසි ඇඹුල්දෙණිය සමග එක් වූ ධනංජය ද සිල්වා පිහිටවූ දැවැන්ත ලකුණූ සබඳතාව විශේෂයෙන් කැපී පෙණුනා.

තරගයේ පස්වැනි සහ අවසන් දිනය වූ අද (03) තරගය ඇරඹෙන විට ධනංජය ලකුණු 153කුත්, ඇඹුල්දෙණිය ලකුණු 25කුත් ලබා සිටියා.

ගාලු පිටිය මත 09 වැනි කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු පිහිටවූ වැඩිම ලකුණු සබඳතාවට හිමි වාර්තාව ඊයේ (02) දිනයේ දී ඔවුන් බිඳ දැමූ අතර අද දිනයේ ඉන් ඔබ්බට ගිය වාර්තාවක් දෙදෙනා එක්ව බිඳ දැමීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ 09 කඩුල්ල වෙනුවෙන් පිහිටවූ වැඩිම ලකුණු සබඳතාවට හිමි වාර්තාව යි ඔවුන් එලෙස බිඳ දැමුවේ.

මින් පෙර එම වාර්තාවට හිමිකම් කීවේ අජන්ත මෙන්ඩිස් සහ තිලාන් සමරවීරයි.

2010 වසරේ දී ඔවුන් දෙදෙනා එම වාර්තාව තබා තිබුණේ 09 වැනි කඩුල්ලට ලකුණු 118ක සබඳතාවක් පිහිටුවමින්.

කෙසේ වෙතත් අද (03) දිනයේ ධනංජය සහ ඇඹුල්දෙණිය එක්ව ලකුණු 124ක සබඳතාවක් 09 වැනි කඩුල්ල වෙනුවෙන් ලබා ගනිමින් එම වාර්තාව තමන් සතු කරගත්තා.

පරාජයෙන් බේරීමේ සටන

දෙවැනි ඉනිම අත්හිටුවීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තීරණය කිරීමත් සමග මීට විනාඩි කිහිපයකට පෙර බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් සිය දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසුණා.

ශ්‍රී ලංකාව තුළ දී ඉතිහාසයේ කිසිදු අවස්ථාවක ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට නොහැකි වී ඇති පසුබිමක දී මෙම තරගය ද ජයග්‍රහණය කිරීම කොදෙව්වන්ට සිහිනයක්ම පමණක් වී තිබෙනවා.

ඒ තරග ජය සඳහා ඔවුන්ට අද දිනය තුළ දී ලබා ගැනීමට ඇති ලකුණු ගණන 297ක් වීම හේතුවෙන්.

එබැවින් අද දිනය තුළ දී සිය කඩුළු ආරක්ෂා කරගනිමින් සියළු දෙනා දැවී යාම වළක්වා ගැනීම හරහා තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට ඔවුන් උත්සහ දරනු ඇති.

එනමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ද ජයග්‍රහණයෙන් කෙළවර කරගන්නට අවස්ථාව ලැබී ඇති අතර ඒ සඳහා ඔවුන් කළ යුත්තේ අද දිනය ඇතුළත බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සියළුම පිතිකරුවන් දවා ගැනීම යි.

එලෙස මෙම තරගය ද ශ්‍රී ලංකාව ජයගත්තොත් 2-0ක් ලෙස විශිෂ්ඨ තරගාවලි ජයක් ද ශ්‍රී ලංකාව වෙත හිමිවනවා.

ගතවූ දින හතර කෙටියෙන්

තරගය ඇරඹුණු 29 වැනි දා කාසියේ වාසිය දිනා පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් තරගයේ දෙවැනි දිනය වූ පෙරේදා (30) සියළු දෙනා දැවී ලකුණු 204ක් රැස් කරගත්තා.

30 වැනි දා කොදෙව්වන් සිය පළමු ඉනිම ඇරඹූ අතර පෙරේදා (01) එම ඉනිම අවසන් වූයේ සියලු දෙනා දැවී ලකුණූ 253ක් ලබා ගනිමින්.

ඒ අනුව ශ්‍රී ලංකාව පෙරේදා (01) සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර දිනය නිමාවන විට කඩුළු 02ක් දැවී ගොස් ලකුණූ 46ක් ලබා සිටියා.

ඊයේ (02) දිනයේ දී ශ්‍රී ලංකා කඩුළු කිහිපයක්ම අඩු ලකුණු ගණනක දී බිඳ වැටුණා.

කෙසේ වෙතත් ධනංජය ද සිල්වාගේ ලකුණු 150 ඉක්මවූ ඉනිම ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ශක්තිමත් කිරීමට මග පෑදුවා.

ඊයේ (02) දිනය නිමාවන විට ශ්‍රී ලංකාව කඩුලු 08ක් දැවී ලබා සිටි ලකුණූ ගණන 328ක්.

කැපී පෙනුණු දක්ෂතා

ගතවූ දින හතර ඇතුළත ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංකගේ සහ ධනංජය ද සිල්වාගේ පිතිකරණයන් විශේෂයෙන් කැපී පෙණුනා.

පළමු ඉනිමේ දී පැතුම් නිස්සංක ලකුණූ 73ක් ලබා ගත් අතර දෙවැනි ඉනිමේ දී ඔහු රැස් කළ ලකුණු ගණන 66ක්.

පළමු ඉනිමේ අසාර්ථක වූ නමුත් තමන් ටෙස්ට් සංචිතයේ සිටිය යුතුම ක්‍රීඩකයෙකු බවට දෙවැනි ඉනිමේ දී ධනංජය ද සිල්වා ඔප්පු කර පෙන්වූවා.

දෙවැනි ඉනිම අත්හිටුවන විට ඔහු නොදැවී ලකුණු 155ක් ලබා සිටියා.

පළමු තරගයේ දී පිතිකරණ තරුවක් වූ නායක දිමුත් කරුණාරත්නට මෙම තරගයේ දී එතරම් සාර්ථකත්වයක් පෙන්වීමට හැකි වූයේ නැහැ.

පළමු ඉනිමේ දී ඔහු ලකුණු 42ක් ලබා ගත් නමුත් දෙවැනි ඉනිමේ දී ලකුණු 06ක් පමණක් ලබා සිටි අවස්ථාවක අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වූවා.

පන්දු යවන්නන් දෙස අවධානය යොමු කිරීමේ දී කොදෙව් පළමු ඉනිම බිඳ දැමූ රමේෂ් මෙන්ඩිස් විශේෂයෙන් කැපී පෙණුනා.

ඔහු එහි දී ලකුණු 70කට බිඳ හෙලූ කඩුලු ගණන 06ක්.

එය ඔහුගේ හොඳම ටෙස්ට් පන්දු යැවීම යි.

මේ අතර ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී වීරසැමී පෙර්මෞල් ලකුණු 35කට ලබා ගත් කඩුළු 05 ද විශේෂත්වයක් වුණා.

ඔහු ටෙස්ට් ඉනිමක දී කඩුලු 05ක් ලබා ගත් පළමු අවස්ථාව වූයේ ද මෙය යි.

Rate this item
(0 votes)
Last modified on Friday, 03 December 2021 11:22