March 29, 2024

දෙවැනි තරගයේ පළමු දිනය නිමා වෙයි - නිස්සංකගෙන් අර්ධ ශතකයක්

November 29, 2021

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද (29) නිමාවට පත් වූවා.

අද පෙරවරු 10.00ට දිනය ආරම්භ කිරීමට නියමිතව තිබුණත් එය ආරම්භ වූයේ පස්වරු 3.00ට යි.

ඒ ඊයේ (28) රාත්‍රියේ සිට අද උදෑසන දක්වා ඇද හැලුණු අධික වර්ෂාව හමුවේ පිටිය තෙත බරිත වී තිබීම හේතුවෙන්.

කාසියේ වාසිය

කාසියේ වාසිය දිනාගත්තේ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න විසින්.

පළමු තරගයේ මෙන්ම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඔහු තීරණය කළා.

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් අත් කැදෙමින් නිමා වූ පළමු  තරගයේ දී ද දිමුත් කාසියේ වාසිය දිනාගැනීමට සමත් වූ අතර එය සිය කණ්ඩායමේ ජයග්‍රහණයට තීරණාත්මක සාධකයක් වූ බව ඔහු එම තරගයෙන් පසුව පවසා තිබුණා.

එමෙන්ම දෙවැනි තරගයේ දී ද කාසියේ වාසිය තමන් සතුවන්නේ නම් එය මෙම තරගය ද ජය ගැනීමට රුකුලක්වනු ඇතැයි ඔහු එදින ප්‍රකාශ කළා.

අද සිදුවූ වෙනස

පෙර තරගය හා සැසඳීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු කොට තිබෙනවා.

දුෂ්මන්ත චමීර මෙම තරගයෙන් ඉවත් කොට තිබීම එම වෙනස යි.

වේගපන්දු යවන්නෙකු වූ ඔහු වෙනුවට කැඳවා ඇත්තේ පිතිකරුවෙකුවන චරිත් අසලංක යි.

ඔහු අද දිනයේ ටෙස්ට් වරම් දිනා ගත්තේ මෙරට 157 වැනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙසින්.

ශ්‍රී ලංකාවේ දැන් තත්ත්වය

ප්‍රමාද වී ඇරඹුණු තරගය අද දිනයේ දී පැවැත්වීමට හැකි වූයේ පැය දෙක හමාරක පමණ කාලයක් පමණ යි.

අයහපත් ආලෝක තත්ත්වය හමුවේ තරගය අද දිනට නතර කිරීමට විනිසුරුවරුන් තීරණය කළා.

ඒවන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු ගණන 113ක්.

ආරම්භක පිතිකරුවන් යුගලය වූ නායක දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක එක් වී පළමු කඩුල්ලට ගොඩ නැගූ ලකුණූ සබඳතාව 106ක්.

පළමු තරගයේ ඉනිම් දෙකේ දී පිළිවෙලින් ලකුණු 147ක් සහ 83ක් ලබා ගත්තත් අද දිනයේ ඔහුගේ ඉනිම අවාසනාවන්ත ලෙස ලකුණු 42කට සීමා වූවා.

කෙසේ වෙතත් පැතුම් නිස්සංක අද දිනයේ ද අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහු මේවන විට නොදැවී ලකුණු 61ක් ලබා සිටිනවා.

එය නිස්සංකගේ 03 වැනි ජාත්‍යන්තර ටෙස්ට් අර්ධ ශතකය යි.

අනෙක් අන්තයේ ක්‍රීඩා කරමින් සිටි ඕෂධ ප්‍රනාන්දු නොදැවී ලකුණු 02ක් ලබා සිටිනවා.

මිකීගේ අවසන් තරගය

මෙම තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතාගේ ගිවිසුම් කාලය අවසන් වීමට නියමිත යි.

ඔහු තීරණය කර ඇත්තේ එම ගිවිසුම් කාලය තවදුරටත් දීර්ඝ නොකර ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් වී යාමට යි.

ඉන් අනතුරුව ඔහු එංගලන්තයේ ඩර්බිෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජ කණ්ඩායමේ ක්‍රිකට් ප්‍රධානියා ලෙස පත් වීමට නියමිත යි.

තරගාවලිය

මේවන විට මෙම තරගාවලිය 1-0 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ පළමු තරගය ලකුණූ 187කින් විශිෂ්ඨ ලෙස ජය ගැනීමත් සමග යි.

එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාව තුළ දී තවමත් එකදු හෝ ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කර නොමැති වීම ද විශේෂත්වයක්.

Rate this item
(0 votes)