April 18, 2024

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ තරගාවලි ජයක්!

December 03, 2021

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වුණු දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ද විශිෂ්ඨ අයුරින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් වුණා.

මෙම තරග ජයත් සමග තරගාවලිය ද 2-0ක් ලෙස ජය ගත්තේ ශ්‍රී ලංකාව යි.

අද (03) තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ ලකුණු 164කින්.

අසරණ වූ කොදෙව් දෙවැනි ඉනිම

ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් 345ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පසුබිමක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා අද (03) දිනය තුළ දී සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලබා ගත යුතු ලකුණු ඉලක්කය වූයේ 297ක්.

පැය කිහිපයක් තුළ එවැනි දැවැන්ත ලකුණු ගණනක් රැස් කරගැනීම ප්‍රායෝගික නොවූ හෙයින් අද දිනය තුළ දී සිය කඩුළු ආරක්ෂා කරගනිමින් සියළු දෙනා දැවී යාම වළක්වා ගැනීම හරහා තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට ඔවුන් උත්සහ දැරුවා.

එහෙත් එම උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් පෙන්වූ දක්ෂතා හමුවේ යි.

පැය කිහිපයක් තුළ කොදෙව්වන්ගේ කඩුළු සියල්ලම දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූවා.

කොදෙව් දෙවැනි ඉනිමෙහි පළමු කඩුල්ල බිඳවැටුණේ ඔවුන්ගේ මුලු ලකුණූ ගණන 15 වෙද්දී යි.

රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවට කඩුල්ල මුවා කරමින් එලෙස දැවී ගියේ ලකුණූ 06ක් පමණක් ලබා සිටි කොදෙව් නායක ක්‍රෙයිග් බ්‍රත්වෙයිට්.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක සබඳතාවක් ගොඩ නැගීමට කෘමා බෝනර් සහ ජෙරමයින් බ්ලැක්වුඩ් සමත් වුණා.

කෙසේ වෙතත් ලසිත් ඇඹූල්දෙණිය යැවූ පන්දුවකට එල්ල කළ පහරක් ධනංජය ද සිල්වා විසින් උඩ පන්දුවක් ලෙස රැක ගැනීමෙන් ජෙරමයින් බ්ලැක්වුඩ් දැවී යාමත් සමග එම සබඳතාව බිඳී ගියා.

බ්ලැක්වුඩ් ලබා ගත්තේ ලකුණූ 36ක් පමණ යි.

දෙවැනි කඩුල්ල එලෙස දැවී යද්දී කොදෙව්වන්ගේ මුලු ලකුණූ ගණන 65ක්ව තිබුණා.

මුලු ලකුණු ගණන 92ක් වෙද්දී තුන්වැනි කඩුල්ල ලෙස දැවී ගියේ ෂයි හෝප්ගේ කඩුල්ලයි.

රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවකට සුරංග ලක්මාල් අතට උඩ පන්දුවක් ලබා දී ඔහු දැවී ගියේ ලකුණූ 16කට යි.

එම පන්දුවට පසු යැවූ පන්දුවෙන් ද කඩුල්ලක් දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස් සමත් වූ අතර තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම එලෙස දැවී ගියේ රොස්ටන් චේස්.

ඕෂධ ප්‍රනාන්දු රැක ගත් උඩ පන්දුවකින් ඔහු දැවී ගියේ කිසිදු ලකුණක් නොලබා යි.

කඩුලු දෙකක් දැවී ගිය එම පන්දුවාරයේ දීම කොදෙව්වන්ගේ 05 වැනි කඩුල්ල ද බිඳ හෙලීමට රමේෂ් මෙන්ඩිස් සමත් වුණා.

එලෙස දැවී ගියේ කිසිදු ලකුණක් නොලබා සිටි කයිල් මයෙර්ස්.

ඔහුගේ පිත්තෙහි වැදුනු පන්දුව පසුපසට යොමු වූ අතර එය උඩපන්දුවක් ලෙස රැක ගත්තේ ධනංජය ද සිල්වා විසින්.

තුන්වැනි, සිව්වැනි සහ පස්වැනි කඩුළු තුනම එලෙස දැවී ගියේ කොදෙව් මුලු ලකුණු ගණන 92ක්ව තිබියදී වීම විශේෂත්වයක්.

මුලු ලකුණු ගණන 103ක් වෙද්දී 06 වැනි කඩුල්ල ද දැවී ගියා.

ඒ ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවකට යි.

උඩපන්දුවක් ලබා දී ජේසන් හෝල්ඩර් එලෙස දැවී ගිය අතර එම උඩපන්දුව ද රැකගත්තේ ධනංජය ද සිල්වා විසින්.

හෝල්ඩර් ලබා ගත්තේ ලකුණු 03ක් පමණ යි.

සිය කණ්ඩායමේ සියලු පිතිකරුවන් අඩු ලකුණු ගණනකට දැවී යද්දී ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කිරීමට උත්සහගත් කෘමා බෝනර්ගේ එම උත්සාහය ද ව්‍යර්ථ වී ගියේ ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ යි.

පන්දුව බෝනර්ගේ පිත්තෙහි වැදී කඩුල්ලේ වැදුණු අතර දැවී යන විට ඔහු ලකුණු 44ක් ලබා සිටියා.

කොදෙව්වන්ගේ 07 වැනි කඩුල්ල එලෙස දැවී ගියේ මුලු ලකුණු ගණන 108ක් බවට පත්ව තිබිය දී යි.

මීලඟ කඩුල්ල ද ඇඹුල්දෙණිය විසින් ලබා ගත් අතර ලකුණූ 13ක් ලබා සිටි කෙමා රෝච් 08 වැනි කඩුල්ල ලෙස දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන්.

එවිට මුලු ලකුණු ගණන සටහන්ව තිබුණේ 128ක් ලෙසින්.

ලකුණු පුවරුවට තවත් එක් ලකුණක් පමණක් එකතුවෙද්දී එනම් මුලු ලකුණු ගණන 129ක් වෙද්දී කොදෙව්වන්ගේ 09 වැනි කඩුල්ල ද බිඳවැටුණා.

එම කඩුල්ල දවාගත්තේ රමේෂ් මෙන්ඩිස් විසින්.

කඩුල්ල මුවා කරමින් එලෙස දැවී ගියේ එක් ලකුණක් පමණක් ලබා සිටි වීරසැමී පෙර්මෞල්ගේ කඩුල්ලයි.

බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ අවසන් කඩුල්ල ලෙස ජොමෙල් වාරිකන්ගේ කඩුල්ල දවා ගත්තේ ලසිත් ඇඹුල්දෙණිය විසින්.

එය ද උඩපන්දුවක් හේතුවෙන් දැවී ගිය කඩුල්ලක් බවට පත් වූ අතර එය රැකගත්තේ ද ධනංජය ද සිල්වා විසින් වීම විශේෂත්වයක්.

වාරිකන් දැවී ගියේ ලකුණු 03කට යි.

අනෙක් අන්තයේ නොදැවී ක්‍රීඩා කරමින් සිටි ජෝෂුවා ද සිල්වා ලකුණු 04ක් ලබා සිටියා.

බටහිර ඉන්දීය කොදෙව්වන් සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියළු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 132ක් පමණ යි.

ඒ අනුව ශ්‍රී ලංකාව තරගය ජයගත්තේ ලකුණු 164කින්.

තරගයේ වීරයා සම්මානය ධනංජය ද සිල්වාට හිමි වුණු අතර තරගාවලියේ වීරයා බවට පත් වූයේ රමේෂ් මෙන්ඩිස්.

ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා ශ්‍රී ලංකාව නියෝජනය කළ අවසන් තරගය ද මෙය වූවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 04 December 2021 12:20