April 20, 2024

මෙන්ඩිස්ගෙන් වාර්තාවක් - තෙවැනි දිනයේ සිදුවූ සියළු දේ මෙන්න (VIDEO)

December 02, 2021

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් සහ දෙවැනි තරගය මේ දිනවල ක්‍රියාත්මක යි.

තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (01) දිනය නිමාවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 46ක් ලබා සිටියේ පළමු තරගයට වඩා කොදෙව්වන්ට වාසි ගෙන දෙමින්.

ශ්‍රී ලංකාව මේවන විට බටහිර ඉන්දීය කොදෙව්වන්ට වඩා ලකුණු 03ක් පසුපසින් සිටිනවා.

ශ්‍රී ලංකා පළමු ඉනිම

තරගය ඇරඹුණු 29 වැනි දා කාසියේ වාසිය දිනා පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් තරගයේ දෙවැනි දිනය වූ පෙරේදා (30) දින සියළු දෙනා දැවී ලකුණු 204ක් රැස් කරගත්තා.

පැතුම් නිස්සංක ලකුණු 73ක් ද දිමුත් කරුණාරත්න ලකුණූ 42ක් ද ලබා ගත්තා.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 29 යි.

පන්දු යැවීමේ දී වීරසැමි පෙර්මෞල් ලකුණු 35කට කඩුළු 05ක් බිඳ හෙලුවා.

එය ඔහු ජාත්‍යන්තර ටෙස්ට් තරගයක දී කඩුළු 05ක් ලබා ගත් පළමු අවස්ථාව යි.

ජොමෙල් වාරිකන් කඩුළු 04ක් දවාගත් අතර රොස්ටන් චේස් එක් කඩුල්ලක් බිඳහෙලුවා.

කොදෙව් පළමු ඉනිම

පෙරේදා (30) සිය පළමු ඉනිම ඇරඹූ බටහිර ඉන්දීය කොදෙව්වන් එම දිනය නිමාවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 69ක් ලබාගෙන සිටියා.

කොදෙව් පිතිකරුවන් පසුගිය තරගයට වඩා වගකීම් සහගත අයුරින් පන්දුවට පහර දෙන අයුරු දක්නට ලැබුණා.

ආරම්භක පිතිකරුවන් වූ නායක ක්‍රෙයිග් බ්‍රත්වෙයිට් සහ ජෙරමයින් බ්ලැක්වුඩ් පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ ලකුණු සබඳතාව 62ක්.

එම සබඳතාව බිඳී ගියේ බ්ලැක්වුඩ්ගේ කඩුල්ල ප්‍රවීන් ජයවික්‍රම විසින් දවා ගැනීමත් සමග යි.

කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී ඔහු දැවී ගියා.

ඔහු ලබා ගත් ලකුණු ගණන 44ක්.

ඊයේ දිනය

තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (01) දිනය ආරම්භවන විට ක්‍රෙයිග් බ්‍රත්වෙයිට් ලකුණූ 22ක් ලබා සිටි අතර කෘමා බෝනර් එක් ලකුණක් ලබා සිටියා.

දෙවැනි කඩුල්ල දවා ගැනීම ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට එතරම් ලෙහෙසි වූයේ නැහැ.

බ්‍රත්වයිටි සහ බෝනර් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ සබඳතාව ලකුණු 75ක්.

කෙසේ වෙතත් එම සබඳතාව බිඳ හෙලුවේ රමේෂ් මෙන්ඩිස් විසින්.

මෙන්ඩිස්ගේ පන්දුවකට කඩුල්ල මුවා කරමින් ලකුණු 35ක් ලබා සිටි කෘමා බෝනර් දැවී ගියා.

ඒවන විට කොදෙව් මුලු ලකුණු ගණන 137ක්ව තිබුණා.

දිවා ආහාර විවේකයෙන් පසු තුන්වැනි කොදෙව් කඩුල්ල ද බිඳ හෙලීමට ශ්‍රී ලංකාව සමත් වූවා.

ලසිත් ඇඹුල්දෙණිය යැවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදී එලෙස දැවී ගියේ ඉතා හොඳින් පන්දුවට පහර දෙමින් සිටි කොදෙව් නායක ක්‍රෙයිග් බ්‍රත්වෙයිට්.

මුලු ලකුණූ ගණන 166 වෙද්දී දැවී යන විට ඔහු ලකුණු 72ක් ලබා සිටියා.

කොදව් පළමු ඉනිමෙහි කඩුළු බිඳවැටුම ඉන් අනතුරුව ඉක්මන් වුණු බව පෙනෙන්නට වූවා.

චරිත් අසලංක අතට උඩපන්දුවක් ලබා දෙමින් සිව්වැනි කඩුල්ල ලෙස ලකුණු 10ක් ලබා සිටි රොස්ටන් චේස් දැවී ගිය අතර පස්වැනි කඩුල්ල ලෙස ෂයි හෝප් දැවී ගියේ ලකුණූ 22කට යි.

එම කඩුළු දෙකම දවා ගත්තේ රමේෂ් මෙන්ඩිස් විසින්.

ඉන් නොනැවතුණු රමේෂ් මෙන්ඩිස් ලකුණූ 04ක් ලබා සිටි ජේසන් හෝල්ඩර් ද දවා ගත්තා.

ඊට විනාඩි කිහිපයකට පසු පිටියට පිවිසි මීලඟ පිතිකරු වූ ජෝෂුවා ද සිල්වා හට මුහුණ දීමට හැකි වූයේ එක් පන්දුවකට පමණ යි.

මෙන්ඩිස්ගේ එම පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදී ඔහු දැවී ගියේ කිසිදු ලකුණක් නොලබා යි.

එම කඩුල්ලත් සමග සිය ටෙස්ට් දිවියේ පළමු වරට එක් ඉනිමක් තුළ කඩුළු 05ක් දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස් සමත් වුණා.

08 වැනි කඩුල්ල ලෙස කෙමාර් රෝච් දවා ගත්තේ ප්‍රවීන් ජයවික්‍රම විසින්.

ධනංජය ද සිල්වා වෙතට උඩපන්දුවක් ලබා දී රෝච් දැවී යන විට ලකුණු 08ක් ලබා සිටියා.

09 වැනි කඩුල්ල දවාගත්තේ ලසිත් ඇඹුල්දෙණිය යි.

පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදී වීරසැමි පෙර්මෞල් එලෙස දැවී යද්දී ඔහු ලබා සිටි ලකුණු ගණන 15ක්.

කඩුළු 05ක් බිඳහෙලීමෙන් අනතුරුව යළි සිය ආක්‍රමණය ඇරඹූ රමේෂ් මෙන්ඩිස් කොදෙව්වන්ගේ අවසන් කඩුල්ල ද බිඳ හෙලුවා.

එක් ලකුණක් පමණක් ලබා සිටි ජොමෙන් වාරිකන් එලෙස දැවී ගියේ චාමික කරුණාරත්න විසින් රැකගත් අසීරු උඩපන්දුවක් නිසා යි.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව්වන් සියලු දෙනා දැවී සිය පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු ගණන 253ක් වූවා.

ඒ, ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 49ක් ඉදිරියට එමින්.

ශ්‍රී ලංකා පන්දු යැවීම්

ලකුණු 70කට කඩුළු 06ක් බිඳ හෙලූ රමේෂ් මෙන්ඩිස් ඊයේ (01) වාර්තා කළේ සිය ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම යි.

ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 59කට කඩුළු දෙකක් බිඳ හෙලුවා.

ලසිත් ඇඹුල්දෙණිය ද කඩුළු 02ක් බිඳ හෙලූ අතර ඔහු ලබා දුන් ලකුණු ගණන 94ක්.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම

සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන්ට නොසිතූ ලෙස පීඩනයක් එල්ල කිරීමට බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් ඊයේ (01) සමත් වූවා.

පසුගිය තරගයේ දී දස්කම් දැක්වූ නායක දිමුත් කරුණාරත්න ඊයේ (01) දිනයේ අසාර්ථකත්වයට පත් වුණේ දෙවැනි පන්දු වාරයේ දී ම දැවී යමින්.

කයිල් මයේර්ස් විසින් දුවද්දී දැවී යාමකට හසුකර ගනිද්දී ඔහුට ලබාගත හැකි වූයේ ලකුණූ 06ක් පමණ යි.

ශ්‍රී ලංකා දෙවැනි කඩුල්ල ද දුවද්දී දැවී යාමකින් ලබා ගන්නට කොදෙව්වන් සමත් වූවා.

වගකීම් විරහිත ලෙස ඉතා අපරීක්ෂාකාරීව එලෙස දැවී ගියේ ඕෂධ ප්‍රනාන්දු යි.

ජෙරමයින් බ්ලැක්වුඩ් විසින් එම කඩුල්ල දවා ගත්තා.

ඕෂධ ප්‍රනාද්දු හට ලබා ගත හැකි වූයේ ලකුණු 14ක් පමණ යි.

දිනය නිමාවන විට ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුළු දෙකක් දැවී ලකුණු 46ක් ලබා සිටි අතර නොදැවී ක්‍රීඩා කරමින් සිටින පැතුම් නිස්සංක ලකුණු 21කුත් චරිත් අසලංක ලකුණු 04කුත් ලබා සිටිනවා.

අද (02) තරගයේ සිව්වැනි දිනයවන අතර තරගය අද උදෑසන 9.45ට ආරම්භ වීමට නියමිතයි.

ඊයේ (01) දිනයේ විශේෂ අවස්ථා පහතින්..

Rate this item
(0 votes)
Last modified on Thursday, 02 December 2021 08:18