May 01, 2024

පිටිය වෙනස් වෙයි - අද තරගවලට පෙර ඔබ දැනගත යුතුම කරුණු

අද දවසේ තරග

මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග පැවැත්වෙන මූලික වටයේ අවසාන දිනය අද (22) යි.

ඒ අනුව අද දිනයේ A කාණ්ඩය යටතේ ඉතිරිව ඇති අවසන් තරග දෙක පැවැත්වෙනවා.

ඒ, පළමුවැන්න නැමීබියාව සහ අයර්ලන්තය අතරත් සහ දෙවැන්න ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතරත් ලෙසින්.

සුපිරි 12ට තව 1යි

සුදුසුකම් ලැබීමේ වටයට සහභාගී වූ කණ්ඩායම් අතුරින් මේවන විට කණ්ඩායම් 03ක් සුපිරි 12 දෙනාගේ වටය තුළ තම ස්ථාන වෙන් කරගෙන අවසන්.

B කාණ්ඩයෙන් තරග වැදුණු ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය එලෙස සුපිරි 12 අතරට ගොස් ඇති අතර A කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ද එම වටයට තේරී පත් වී තිබෙනවා.

අද පැවැත්වෙන තරගවලින් ජය ගන්නා කණ්ඩායම් සහ ඔවුන්ගේ දල ලකුණු ලබාගැනීමේ වේගය අනුව A කාණ්ඩයෙන් සුපිරි 12 දෙනාගේ වටයට පිවිසෙන අනෙක් කණ්ඩායම තීරණය වනු ඇති.

A කාණ්ඩයේ ප්‍රසාද ලකුණූ පුවරුව දෙස බැලූ විට අයර්ලන්තය හෝ නැමීබියාව එම අවස්ථාව හිමිකරගනු ඇති බවට අනාවැකි කීමට හැකි යි.

A කාණ්ඩයේ දැන් තත්ත්වය

අද දිනයේ පළමු තරගයේ දී එකිනෙකා හමුවන අයර්ලන්තය සහ නැමීබියාව යන කණ්ඩායම් දෙකම ප්‍රසාද ලකුණූ 02 බැගින් ලබා සිටීම විශේෂත්වයක්.

A කාණ්ඩයේ දෙවැනි ස්ථානයට අයර්ලන්තය පත්ව සිටින්නේ ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය නැමීබියාවට වඩා සුළු අගයකින් ඉහළ මට්ටමක ඇති නිසා යි.

අයර්ලන්තය -1.010ක දල ලකුණු ලබාගැනීමේ වේගයක් ලබා සිටිද්දී නැමීබියාවේ එම අගය -1.163ක්.

කණ්ඩායම් දෙකම මෙම තරගාවලියේ දී මෙතෙක් තරග 02ක් ක්‍රීඩා කර ඇති අතර ඔවුන් දෙපාර්ශවයම එක් තරගයක් ජය ගෙන අනෙක් තරගය පරාජයට පත් වූවා.

A කාණ්ඩයේ අවසන් ස්ථානයේ පසුවන නෙදර්ලන්තය තමන් තරග වැදුණු තරග දෙකම පරාජයට පත් වූ නිසා එකදු ප්‍රසාද ලකුණක් හෝ හිමි කරගෙන නැහැ.

ඔවුන්ගේ දල ලකුණු ලබා ගැනීමේ වේගය -1.240ක්.

කාණ්ඩයේ ඉහළම පසුවන ශ්‍රී ලංකාව තමන් සහභාගී වූ තරග දෙකම ජය ගෙන ප්‍රසාද ලකුණු 04ක් ලබා සිටින්නේ +3.165ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් ද සහිතව යි.

එය A සහ B යන කාණ්ඩ දෙකෙහිම කණ්ඩායම් අතුරින් වැඩිම ලකුණු ලබාගැනීමේ වේගය යි.

තීරණාත්මක පළමු තරගය

මෙම කරුණූ අනුව අද දිනයේ පළමු තරගයවන අයර්ලන්ත - නැමීබියා තරගය තීරණාත්මක එකක් බවට පත් වනවා.

ඒ, එම කණ්ඩායම් දෙකෙන් සුපිරි 12 අතරට යන්නේ කවුරුන්ද යන්න අද තරගයේ දී තීරණය වීමට නියමිත නිසා යි.

සාජා ක්‍රීඩාංගණයේ දී එම තරගය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස 3.30ට යි.

ශ්‍රී ලංකා - නෙදර්ලන්ත සටන

දිනයේ දෙවැනි තරගය අද රාත්‍රී 7.30ට ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙන අතර සියළු අනාවැකි පළ වී ඇත්තේ ශ්‍රී ලංකාව දෙසට යි.

විශේෂයෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් පිළිබඳ මේවන විට ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයින් පවා අදහස් පළ කරන්නේ පැසසුම් සහගතව යි.

ශ්‍රී ලංකාව දැනටමත් සුපිරි 12 දෙනා අතරට ගොස් සිටියත් අද තරගය ජය ගැනීම ද ඉතාමත් වැදගත්වනවා.

ඒ දිගින් දිගටම පවත්වාගෙන ආ ජයග්‍රහණයේ රිද්මය ඉදිරි තරගවලට මානසික වශයෙන් ප්‍රබල බලපෑමක් සිදු කළ හැකි නිසා යි.

මුල් පෙළ ගැටළුව

කෙසේ වෙතත් දිගින් දිගටම අසාර්ථක වූ මුල් පෙල පිතිකරුවන් පිළිබඳ ගැටළුව කිසිසේත් අමතක කළ නොහැකි යි.

විශේෂයෙන්ම මෙම තරගාවලියේ දී කුසල් ජනිත් පෙරේරා සහ දිනේෂ් චන්දිමාල් යන දෙදෙනාගේ අසාර්ථකත්වය පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් ද කතාබහට ලක් වෙමින් පවතිනවා.

මේ හේතුවෙන් මෙම දෙදෙනා පිතිකරුවන් ලෙස තවදුරටත් කණ්ඩායමේ තබාගත යුතු ද යන්න ගැන බොහෝ දෙනා ප්‍රශ්ණ කරමින් සිටිනවා.

කඩුලු රකින්නා ලෙස කුසල් ජනිත් පෙරේරා තබාගෙන දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් කිරීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරීත්වය අවධානය යොමු කළ යුතු බවට බොහෝ ක්‍රීඩා විචාරකයින් පවා සමාජ ජාල තුළ අදහස් පළ කොට ඇති අයුරු ද දක්නට හැකි යි.

එමෙන්ම එම අවස්ථාව උපනායක ධනංජය ද සිල්වාට හෝ චරිත් අසලංකට ලබා දිය හැකි බවට යි ඔවුන් පවසන්නේ.

තණ තිල්ලේ වෙනස

අද තරගය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රීඩාංගණයේ දී යි.

ශ්‍රී ලංකාව මෙම තරගාවලිය තුළ එම ක්‍රීඩාංගනයේ තරගවදින ප්‍රථම අවස්ථාව ද මෙය යි.

මෙතෙක් ශ්‍රී ලංකාව සහභාගී වූ තරග දෙකම අබුඩාබි ක්‍රිකට් පිටියේ පැවැති අතර එයට හුරු වී ඇති ශ්‍රී ලංකා කණ්ඩායමට සාජා ක්‍රිකට් පිටිය ද යම් අභියෝගයක් එල්ල කළ හැකි බව පැවසෙනවා.

තණ කොළ ගහක් පේන්න වත් නෑ

පළමු තරග දෙකේ දී ශ්‍රී ලංකාව තරග වැදුණු පිටියෙන් වෙනස් වූ ගුණාංග සහිත පිටියකට අද තරගයේ දී මාරු වීමට සිදුවීම පිළිබඳව හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක ෆර්වේස් මහරුෆ් ද අදහස් පළ කළා.

ඔහු පවසා සිටියේ මෙවැන්නක්.

“අපේ කන්ඩිෂන්ස් දැන් මාරු වෙනවා. අබුඩාබි කියන්නේ සාමාන්‍යයෙන් තණකොළ පොඩ්ඩක් තියන තණ නිල්ලක්. ඒ තණ නිල්ලේ පොඩි ඉලිප්පීමක් තියෙනවා. ෆාස්ට් බෝලර්ස්ලාට පොඩි හෙල්ප් එකක් තියෙනවා. හැබැයි සාජාවල සෙල්ලම් කරද්දී ඒක තනිකරම අනික් පැත්ත. සාජාවල තණකොළ ගහක් පේන්න වත් නෑ. කෙලින්ම සිමෙන්තිය වගේ තියෙන්නේ”

වේග පන්දු යවන්නන් තුන්දෙනෙකු භාවිත කිරීම අබුඩාබි පිටියේ දී ඉතා සුදුසුවන නමුත් සජා පිටියේ දී තත්ත්වය ඊට වඩා වෙනස් විය හැකි බව ද මහරුෆ් පවසනවා.

එම නිසා දඟ පන්දු යවන්නෙකු ලෙස ධනංජය ද සිල්වා කණ්ඩායම තුළට ගැනීම වැදගත් විය හැකි බව යි ඔහු පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද තරගය පැවැත්වීම ශ්‍රී ලංකාවට යම් වාසි සහගත එකක්වනු ඇති බවට ද මහරුෆ් මත පළ කරනවා.

මෙවර තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් 08න් එක් කණ්ඩායමක්වත් සිය පුහුණු තරග සඳහා සාජා පිටිය යොදාගෙන නොමැති බව පවසන ඔහු පෙන්වා දෙන්නේ සාජා පිටියේ ගුණාංග පිළිබඳ හඳුණා ගැනීමට අද තරගය ශ්‍රී ලංකාව වෙත වැදගත්වනු ඇති බවට යි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 22 October 2021 13:09