May 01, 2024

ශ්‍රී ලංකාව එක්වන පළමු තරගය නැරඹීමට පෙර ඔබ දැනගත යුතුම කරුණු

සිංහයින්ගේ පළමු තරගය

2021 පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය අද (18) යි.

ඊයේ මෙන්ම අද දිනයේ ද සුදුසුකම් ලැබීමේ තරග 02ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද දිනයේ පැවැත්වීමට නියමිතව ඇත්තේ  A කාණ්ඩයේ තරග 2ක්.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය ද අද දිනයේ පැවැත්වීම මෙරට ක්‍රිකට් ලෝලීන් හට විශේෂත්වයක් වනවා.

අද දිනයේ පළමු තරගය පස්වරු 3.30ට ආරම්භ වූ අතර එය පැවැත්වෙන්නේ අයර්ලන්තය සහ නෙදර්ලන්තය අතර යි.

ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර තරගය අද පස්වරු 7.30ට යි ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ.

එම තරගය අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සියළු කටයුතු සූදානම්ව පවතිනවා.

ඉතිහාසයේ පළමු වරට ලංකාව මූලික වටයේ

සුපිරි 12 දෙනා අතරට එක් වීමේ අරමුණින්, සුදුසුකම් ලබා ගැනීමේ වටයක් හෙවත් මූලික වටයක් සඳහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදුව ඇත්තේ ඉතිහාසයේ පළමු වරට යි.

එමෙන්ම 2014 පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ලෝක ශූරයන් වූයේ ශ්‍රී ලංකාව වන බැවින් මෙලෙස සුදුසුකම් ලබා ගැනීමේ වටයකට ශ්‍රී ලංකා කණ්ඩායම හට මුහුණ දීමට සිදුවීම ද දෛවයේ සරදමක් ලෙස සැළකිය හැකි යි.

සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ දී A කාණ්ඩයෙන් තරග වදින්නේ ශ්‍රී ලංකාව, අයර්ලන්තය, නෙදර්ලන්තය සහ නැමීබියාව යි.

ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ වෙනස්කම් දෙකක්

ඊයේ (17) දිනයේ දී අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සිය අවසන් පුහුණු සැසිය සඳහා ශ්‍රී ලංකාව එක් වූවා.

එම පුහුණු සැසියෙන් පසු අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසා සිටියේ සිය කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුව මේවන විටත් සකසා අවසන් බව යි.

ඕමාන කණ්ඩායම සමග පැවැත්වුණු පුහුණු තරගවල දී සකසා තිබූ පිතිකරුණ ලැයිස්තුව සමග සැසඳීමේ දී වෙනස්කම් දෙකක් පමණ සිදු කළ බව ද ඔහු අනාවරණය කර සිටියා.

එමෙන්ම සියළුම ක්‍රීඩකයින් යහපත් මානසිකත්වයක පසුවන බවත් ඒ අනුව සහභාගීවන තරග සියල්ල ජය ගැනීමට හැකිවනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බවත් දසුන් ශානක ප්‍රකාශ කළා.

මහේලගේ උපදෙස්

මේ අතර මෙම තරගාවලිය සඳහා උපදේශකයෙකු ලෙස එක්ව සිටින හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පිළිබඳව ද ශානක මෙහි දී අදහස් පළ කළා.

ශානක පැවසූවේ මහේලගෙන් සිය කණ්ඩායමට විශාල මෙහෙයක් හිමිවන බව යි.

මහේල ජයවර්ධනගේ දැනුම විශාල පරාසයක පැතිර ඇති බවත්, තරග දත්ත විශ්ලේෂණය අතින් ගත් කල වෙනම කෝණයකින් බැලීමේ හැකියාව ඔහු සතු බවත් ශ්‍රී ලංකා නායකයා පැවසුවා.

ලෝක කුසලාන තරගාවලිය තුළ දී මහේලගේ සේවය දිගටම ලබාගැනීමට බලාපොරොත්තුවන බවයි දසුන් ශානක වැඩිදුරටත් සඳහන් කළේ.

අද තරගය ගැන ශ්‍රී ලංකා නායකයාගේ අදහස

නැමීබියාව යනු ඉතාමත් හොඳින් ක්‍රීඩා කරන කණ්ඩායමක් බව දසුන් ශානක පෙන්වා දෙනවා.

පසුගිය වසර කිහිපය තුළ ඔවුන් බොහෝ සෙයින් දියුණු වී ඇති බව ද ශ්‍රී ලංකා නායකයා අවධාරණය කරනවා.

තමන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවන ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් පිළිබඳ නැමීබියාව ගැඹුරින් විස්ලේශණය කරන බවට තමන් විශ්වාස කරන බවයි ශානක පවසන්නේ.

කෙසේ වෙතත් තම කණ්ඩායම නැමීබියානු කණ්ඩායමට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් සිටින නමුත්, තම කණ්ඩායම නැමීබියානු කණ්ඩායමට ගරු කරමින් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවන බව ද නායක දසුන් ශානක ප්‍රකාශ කර සිටියා.

තරගයට පෙර ශ්‍රී ලංකා පුහුණුකරු කියන දේ

තමන් නැමීබියානු කණ්ඩායම සහභාගී වූ තරග රැසක් නරඹා ඇති බවත් ඒවා දෙස බැලීමේ දී නැමීබියාව අවතක්සේරු කළ නොහැකි බවත් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසනවා.

ඒ අනුව අද තරගය කිසිසේත් ලේසි පහසු තරගයක් නොවනු ඇති බව යි ඔහුගේ අදහස වී ඇත්තේ.

නැමීබියාව පමණක් නොව ස්කොට්ලන්තය, පැපුවා නිව් ගිනියාව සහ ඕමානය ආදී කණ්ඩායම් ද ජාත්‍යන්තර පිටියේ විශේෂ දක්ෂතා දැක්වීමට හැකිවන ලෙස වැඩි දියුණු වී ඇති බව ද ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු පෙන්වා දෙනවා.

නැමීබියා කණ්ඩායමේ අදහස

ශ්‍රී ලංකාව යනු පන්දුවාර විස්ස ලෝක කුසලානය දිනාගත් රටක් බැවින් අද තරගය පහසු නොවනු ඇති බව නැමීබියානු නායක ගර්හාඩ් එරස්මස් පවසනවා.

කෙසේ වෙතත් තමන් මුහුණ දෙන්නේ ක්‍රීඩකයින්ට නොව පන්දුවට පමණක් බව යි ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර තම කණ්ඩායම දුර්වල කණ්ඩායමක් ලෙස බොහෝ දෙනා දුටුවත්, හොඳ තරගයක් දීමට තමන් මෙම තරගාවලියට පැමිණ බව නැමීබියානු ප්‍රධාන පුහුණුකරු පවසනවා.

එමෙන්ම අද දින ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයට මුහුණ දීමට තම කණ්ඩායම ඉතාමත් ආශාවෙන් බලා සිටින බව ද ඔහු ප්‍රකාශ කළා.

කවුද මේ නැමීබියාව?

අද දිනයේ ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතව ඇති නැමීබියානු කණ්ඩායම මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට එක්වන තවත් පෙරළිකාර කණ්ඩායමක් ලෙස හැඳින්විය හැකියි.

ගර්හාඩ් එරස්මස්ගේ නායකත්වයෙන් යුතු නැමීබියානු සංචිතයේ විශේෂඥ පිතිකරුවන් ලෙස ස්ටීවන් බාඩ්, කාල් බර්කන්ස්ටොක්, ජැන් නිකෝල්, බර්නැන්ඩ් ස්කොල්ට්ස්, මයිකල් වැන් ලින්ගන්, ක්‍රෙයිග් විලියම්ස් සහ පීකි යා ෆ්‍රාන්ස් හැඳින්විය හැකි බව ක්‍රීඩා වෙබ් අඩවි වාර්තා කොට තිබෙනවා.

ජැන් ෆ්‍රයිලින්ක්, ජේජේ ස්මිත්, ඩේවිඩ් වීස සහ නායක ගර්හාඩ් එරස්මස් යන සිව් දෙනා නැමීබියාවේ තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස ද එම වාර්තා අතර දැක්වෙනවා.

නැමීබියානු සංචිතයේ කඩුළු රකින්නන් දෙදෙනෙකු සිටින අතර එම ක්‍රීඩකයින් වන්නේ මිචාවු ඩු ප්‍රීස් සහ සේන් ග්‍රීන් යන දෙදෙනා යි.

බෙන් ෂිකොන්ගෝ සහ රූබන් ට්‍රම්පල්මන් යන දෙදෙනා නැමීබියාව සතු ප්‍රධාන පන්දුයවන්නන් වනවා.

මෙවර තරගාවලියේ දී නැමීබියාවේ ප්‍රබලතම තුරුම්පුව ලෙස සැළකෙන ඩේවිඩ් වීස කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.

ඔහු මීට පෙර ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම පවා නියෝජනය කළ ක්‍රීඩකයෙක්වන අතර PSL තරගාවලියේ දී ද විශේෂ දස්කම් දැක්වූවෙකු ලෙස ද හැඳින්විය හැකි යි.

නැමීබියා තුරුම්පුව කතාකරයි

ලීග් තරගවල දී තමන් ශ්‍රී ලංකා නායක දසුන් ශානකට එරෙහිව ක්‍රීඩා කර ඇති බව නැමීබියා ප්‍රබලයා ලෙස හැඳින්වෙන ඩේවිඩ් වීස පවසනවා.

ශානක යනු ගුණාත්මක බවින් ඉතා ඉහළ ක්‍රීඩකයෙකු බව යි ඔහු පෙන්වා දෙන්නේ.

නැමීබියානු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ විශ්ලේෂණයක ‍යෙදුණු බවත්, ඉතා හොඳ දඟපන්දු යවන්නන් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින බවත් ඔහු පවසනවා.

පිතිකරණය අතින් ගත් කල වසර ගණනක පළපුරුද්ද ඇති ක්‍රීඩකයෙකු ලෙස තමන් දිනේෂ් චන්දිමාල්ව දකින බව යි ඩේවිඩ් වීස පවසන්නේ.

කෙසේ වෙතත් අද තරගයේ දී නැමීබියාව තමන්ට කළ හැකි උපරිමය සිදුකරන බව ද ඔහු අවධාරණය කර සිටිනවා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 18 October 2021 19:24