May 04, 2024

පළමු තරගය නිමයි! මෙන්ඩිස්ගේ ඕමාන කණ්ඩායමට සුපිරි ජයක්!

2021 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය මීට සුලු මොහොතකට පෙර නිමාවට පත් වූවා.

ඕමානය සහ පැපුවා නිව්ගිනියාව අතර පැවැති එම තරගයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඕමාන කණ්ඩායම සමත් වුණා.

ඕමානය මෙම තරගය ජය ගත්තේ කඩුළු 10කින්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕමාන නායකයා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

ඒ අනුව පිටියට පිවිසි පැපුවා නිව්ගිනි පිතිකරුවන්ට සාර්ථක වීමට ඕමාන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

වැඩිම ලකුණු ලාභියා වූ අසාඩ් වාලා අර්ධ ශතකයක් ද සමගින් ලකුණු 56ක් රැස් කළා.

චාර්ල්ස් අමීනි ලකුණු 37 යි.

පන්දු යැවීමේ දී සීෂාන් මක්සූඩ් ලකුණු 20කට කඩුළු 04ක් දවා ගත්තා.

බිලාල් ඛාන් සහ කලීමුල්ලා අතර කඩුලු දෙක බැගින් බෙදී ගියා.

නියමිත පන්දුවාර 20 අවසානයේ පැපුවා නිව්ගිනියා කණ්ඩායම කඩුළු 09ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 129ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඕමාන ආරම්භක පිතිකරුවන් යුගලය වූ අකීබ් ඉල්යාස් සහ ජතින්දර් සිං කිසිදු කඩුල්ලක් ලබා නොදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාම විශේෂත්වයක් වූවා.

ඔවුන්ට ඒ සඳහා වැය වූයේ පන්දුවාර 13යි පන්දු 04ක් පමණ යි.

දෙදෙනා එක්ව ලකුණු 131ක් රැස් කළා.

ජතින්දර් සිං ලකුණු 73කුත් අකීබ් ඉල්යාස් ලකුණු 50කුත් ලබා ගත්තා.

තරගයේ විස්තර විචාරකයින් සඳහන් කළේ එම දෙදෙනාගේ අනගි පිතිකරණය හමුවේ මෙම තරගය ඒක පාර්ශවික තරගයක් බවට පත් වූ බව යි.

ඕමාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක දුලිප් මෙන්ඩිස් මහතා යි.

එමෙන්ම ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක රුවන් කල්පගේ මහතා ඕමාන කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කරනවා.

අද දවසේ දෙවැනි තරගය තව ස්වල්ප මොහොතකින් ආරම්භ වීමට නියමිත යි.

එය පැවැත්වෙන්නේ බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය අතර යි.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 17 October 2021 18:51