May 04, 2024

අද ඇරඹෙන ක්‍රිකට් සැණකෙළිය නැරඹීමට පෙර මේවා දැනගන්න

7 වැනි 20 විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය නිල වශයෙන් ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ විනාඩි කිහිපයක් පමණයි.

මෙවර 20 විස්ස ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය ලබා දෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය යි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි, ඩුබායි, සාජා යන ක්‍රීඩාංගණ සහ සහ ඕමානයේ අල් අමිරාට් ක්‍රීඩා පිටිය ඒ සඳහා ලහි ලහියේ සූදානම් වෙමින් පවතිනවා.

කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්ව‍යේ අවදානම ද මධ්‍යයේ මෙවර ලෝක කුසලානය පැවැත්වීම යම් අභියෝගාත්මක බවක් ද ගෙන තිබෙනවා.

දැඩි සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් ජෛව ආරක්ෂක බුබුළකට යටත්වයි මෙවර ලෝක කුසලානය පැවැත්වෙන්නේ.

කෙසේ වෙතත් ක්‍රීඩාංගණ ධාරිතාවයෙන් 70%ක ක්‍රීඩා ලෝලීන් ප්‍රමාණයකට තරග සජීවීව නැරඹීම සඳහා අවස්ථාව ලබා දීමට ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයට ඇතුළත් තරග ගණන 45ක්.

කුසලානය දිනාගැනීම සඳහා රටවල් 16ක් එකිනෙකා පරයමින් තරග වදිනු ඇති.

තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටය අද (17) දින ආරම්භවන අතර ඒ සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 08ක් තරගවදිනවා.

එම තරග A සහ B කාණ්ඩ යටතේ පැවැත්වෙන අතර එම තරගවලින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක බැගින් එක් වන්නේ සුපිරි කණ්ඩායම් 12 අතරට යි.

සුදුසුකම් ලැබීමේ වටයේ දී ශ්‍රී ලංකාව තරග වදින්නේ A කාණ්ඩය යටතේ යි.

අයර්ලන්තය, නෙදර්ලන්තය සහ නැමීබියාව A කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වනවා.

B කාණ්ඩයට ඇතුළත් වන්නේ බංග්ලාදේශය, ස්කොට්ලන්තය, පැපුවා නිව්ගිනියාව සහ ඕමානය යි.

පැවුවා නිව්ගිනියාව ICC ලෝක කුසලානයකට එක්වන ප්‍රථම අවස්ථාව ද මෙය යි.

සුදුසුකම් ලැබීමේ වටය ආරම්භ කරමින් ඕමානය සහ පැපුවා නිව්ගිනියාව අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස 3.30ට ආරම්භ වීමට නියමිත යි.

අද දිනයේ දෙවැනි තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට පැවැත්වෙන්නේ බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය අතර යි.

සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය හෙට (18) දිනයේ දී පැවැත්වෙනවා.

ඒ නැමීබියාවට එරෙහිව යි.

එම තරගය හෙට (18) රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ලබන 22වැනි දා දක්වා සුදුසුකම් ලැබීමේ වටය පැවැත්වෙන අතර 23 වැනි දා සිට සුපිරි කණ්ඩායම් 12 දෙනාගේ වටයේ තරග ආරම්භ වනවා.

සුපිරි 12 දෙනාගේ වටය පළමු කාණ්ඩය සහ දෙවැනි කාණ්ඩය ලෙස වෙන් කොට පැවැත්වෙන අතර එක් එක් කාණ්ඩයන්ගෙන් පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක බැගින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබනු ඇති.

අවසන් පූර්ව වටයේ තරග නොවැම්බර් 10 සහ 11 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත අතර මාසයකට ආසන්න කාලයක් පැවැත්වෙන මෙම ක්‍රිකට් සැණකෙළියේ කූඨප්‍රාප්තිය සනිටුහන් කරමින් නොවැම්බර් 14 වැනි දා පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගය පැවැත්වීමට නියමිත යි.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 17 October 2021 14:34