May 07, 2024

කාටවත් බැරි වුණ දේ භානුක සහ චාමික ඉටු කරයි! අවසන් තරගය නිමා වූයේ මෙහෙමයි!

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සහ අවසාන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ අවසන් වූවා.

ඒ ශ්‍රී ලංකාවට ජය අත්කර දෙමින්.

නියමිත පන්දුවාර 20 අවසන් වීමට පන්දු 15ක් පමණක් තිබිය දී තරගය ශ්‍රී ලංකාව ජයගත්තේ කඩුළු 05 කින්.

මෙම තරගයත්, පළමු තරගයත් දෙකම ජයගත් නිසා ශ්‍රී ලංකා කණ්ඩායම 2-0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් ද වාර්තා කිරීමට සමත් වූවා.

කෙසේ වෙතත් පළමු තරගයේ දී මෙන්ම ඕමාන ක්‍රීඩකයින් ශ්‍රී ලංකාව වෙත ප්‍රබල පීඩනයක් ලබා දුන්නේ තමන් ඉදිරි අනාගතයේ දී ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් කණ්ඩායමක් බවට පත්වනු ඇතැයි අනාවැකි මවමින්. 

තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් දිනාගත් අතර ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

ඒ අනුව පිටියට පිවිසි ඕමාන පිතිකරුවන් ශ්‍රී ලංකා කණ්ඩායමට නොසිතූ අභියෝගයක් එල්ල කළේ නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුළු 08ක් දැවී ලකුණු 159ක් ලබා ගැනීමත් සමග යි.

තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් හට ලකුණු 160ක ඉලක්කයක් ලැබී තිබුණා.

ඕමාන ඉනිමෙහි වැඩිම ලකුණු ලාභියා වූ ආකිබ් ඉල්යාස් මනරම් පිතිහරඹයක නිරත වූ අතර අර්ධ ශතකයක් ද වාර්තා කළ ඔහු පන්දු 38ක් පමණක් වැය කරමින් රැස් කළ ලකුණු ගණන 60ක්. 

ඔහුගේ ඉනිමට හතරේ පහර 03ක් සහ හයේ පහර 04ක් අන්තර්ගත වූවා.

පන්දු රැකීමේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දුර්වලකම් විශේෂයෙන් කැපී පෙණුනු අතර උඩපන්දු රැසක්ම ඔවුන්ගෙන් මගහැරී ගියේ ඕමාන කණ්ඩායම අඩු ලකුණූ ගණනකට සීමා කිරීමට තිබූ අවස්ථාව අහිමි කරගනිමින්.

ඕමානය වැනි කණ්ඩායමක් හමුවේ ශ්‍රී ලංකාව වැනි කණ්ඩායමකට බැලූ බැල්මට පහසු ඉලක්කයක් ලෙස පෙණුනු ලකුණු 160 ලබා ගැනීම උදෙසා පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලය වූයේ දිනේෂ් චන්දිමාල් සහ පැතුම් නිස්සංක යි.

චන්දිමාල් වේගවත් ආරම්භයක් ගත්තත් ඔහුගේ ඉනිම විනාඩි කිහිපයකට පමණක් සීමා වූයේ හතරේ සීමාව ආසන්නයේ දී අයාන් ඛාන් විසින් රැකගත් මනරම් උඩපන්දුව හේතුවෙන්.

පන්දු 08ක් වැයකරමින් චන්දිමාල් ලකුණූ 18ක් ලබා ගත්තා.

ඉන් පසුව පිටියට පිවිසි චරිත් අසලංක සහ පැතුම් නිස්සංක එක්ව යම් සබඳතාවක් ගොඩ නැගීමට උත්සහ දැරුවත් එය ද ව්‍යර්ථ වූයේ මුලු ලකුණු ගණන 40ක්ව තිබිය දී උඩපන්දුවක් ලබා දෙමින් අසලංක දැවීයාමත් සමග යි.

ෆයාස් අහ්මඩ් විසින් රැකගත් එම උඩ පන්දුව ඉතා අසීරු එකක් වූවා.

අසලංක ලබාගත්තේ ලකුණූ 05ක් පමණයි.

ඔහුගේ දැවීයාමත් සමග පිටියට පැමිණියේ පළමු තරගයේ ශ්‍රී ලංකා ගැලවුම්කාරයා වූ අවිශ්ක ප්‍රනාන්දු යි.

ඔහු සහ නිස්සංක එක්ව ශ්‍රී ලංකා මුලු ලකුණු ගණන 87 දක්වා රැගෙන ගිය නමුත් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමෙන් පැතුම් නිස්සංක ලකුණූ 26කට දැවී ගියා.

ලකුණූ 33ක් ලබා සිටි අවිශ්ක ප්‍රනාන්දු ද නිස්සංක මෙන්ම කඩුල්ල මුවාකිරීමේ වරදින් දැවී ගියේ  ලකුණු 33කට යි.

එම කඩුල්ලත් සමග ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තුව වූ නායක දසුන් ශානක පිටියට ආ සැණින් ලකුණු නොලබාම යළි හැරී යාමට සිදු වූයේ තමන් මුහුණ දුන් දෙවැනි පන්දුවම උඩපන්දුවක් බවට පත් වී කඩුළු රකින ක්‍රීඩකයාගේ දෑත වෙත ලඟා වීම නිසා යි.

ශානකගේ දැවී යාමත් සමග කඩුළු 05ක් දැවී ලැබූ මුලු ලකුණු ගණන 85ක් ලෙස ලකුණු පුවරුවෙහි ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ සටහන්ව තිබූයේ ඕමාන කණ්ඩායම ඉදිරියේ පරාජය වන්නට සිදුවෙතැයි ඉඟි පළ කරමින්.

කෙසේ වෙතත් එම ඉඟි සියල්ල ගණනකට නොගත් භානුක රාජපක්ෂ සහ චාමික කරුණාරත්න සිය වගකීම නිවැරදිව ඉටු කරමින් ඕමාන ක්‍රීඩකයින්ගේ බලාපොරොත්තු සියල්ල බිඳ හෙලූයේ සිය කඩුලු රැකගන්නා අතරතුරේදීම ලකුණු රැස් කරන්නට පටන් ගත් නිසා යි.

මුලු ලකුණූ ගණන 163 දක්වා රැගෙන ගිය භානුක සහ චාමික යන දෙදෙනාම නොදැවී ලකුණු 35 බැගින් ලබා ගත්තා.

තරගය නිමා වීමට තවත් පන්දු 15ක් පමණක් ඉතිරිව තිබිය දී චාමික එල්ල කළ හයේ පහරකින් ශ්‍රී ලංකාව තරගයේ ජය තහවුරු කළා.

කෙසේ වෙතත් තරගයේ විස්තර විචාරකයින් පවා නැවත නැවතත් සඳහන් කළේ ශ්‍රී ලංකාව වැනි පළපුරුදු කණ්ඩායමකට මෙවැනි අභියෝගයක් දුන් ඕමාන කණ්ඩායමේ ඉදිරි අනාගතය නම් ඉතා පැහැදිළි බවට යි.

වඩාත් සුවිශේෂී කරුණ වන්නේ ඕමාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය ශ්‍රී ලාංකික හිටපු ක්‍රිකට් ක්‍රීඩක දුලිප් මෙන්ඩිස් මහතා විසින් දැරීම යි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 10 October 2021 07:52