May 18, 2024

තරගය පැරදුනත් ඕමානයට ජයක් ගෙන දෙමින් සටන නිමවෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන ක්‍රිකට් කණ්ඩායම අතර පළමු විස්සයි 20 ක්‍රිකට් තරගය මීට සුළු මොහොතකට පෙර අවසන් වූවා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට ජය අත් කර දෙමින්.

ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ ලකුණු 19කින්.

කෙසේ වෙතත් ක්‍රිකට් පිටියේ තවමත් බරට පා තබා නොමැති ඕමාන කණ්ඩායම අද (07) තරගයේ අවසන් මොහොත තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් පීඩනය සලකා බැලූ විට එය ඕමානය ලැබූ ජයක් ලෙස ද හැඳින්විය හැකියි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕමාන නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ඇරයුම් කළේ තරගය පැවැත්වෙන අල් අමාරාට් ක්‍රීඩාංගනය ලකුණු හඹා යන්නන්ට වාසි සහගත බවට සැළකෙන නිසා යි.

ආධුනික කණ්ඩායමක් සේ සැලකෙන ඕමාන කණ්ඩායම තරගයේ ආරම්භයේ සිටම කිසිදු ආධුනික බවක් නොපෙන්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල තරගයක් ලබා දුන්නා.

ඕමාන පන්දු යවන්නන් හමුවේ දිනේෂ් චන්දිමාල් සහ කමිඳු මෙන්ඩිස් දෙදෙනාම තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණු 0කට දැවී ගියා.

ශ්‍රී ලංකා පිතිකරණ බලඇණිය ශක්තිමත් කරාවි යැයි බලාපොරොත්තු වූ පැතුම් නිස්සංක ලකුණු 08කට දැවී යද්දී භානුක රාජපක්ෂ දැවී ගියේ ලකුණු 15කට යි.

කෙසේ වෙතත් ඉනිමෙහි සම්පූර්ණ බර කරට ගැනීමට තීරණය කළ අවිශ්ක ප්‍රනාන්දු ආක්‍රමණශීලී පහරවලට පවා යමින් නොදැවී ලබා ගත් ලකුණු ගණන 83ක්.

ඔහුගේ ඉනිමට හතරේ පහර 03ක් සහ හයේ පහර 05ක් ඇතුලත් වූවා.

අනෙක් අන්තයේ සිටි නායක දසුන් ශානක ද නායකත්වයේ වගකීම මනාව සිහිපත් කරමින් නොදැවී ලබා ගත් ලකුණු ගණන 51ක්.

ඔහුගේ ඉනිමට හතරේ පහර 02ක් සහ හයේ පහර 05ක් ඇතුලත් වූවා.

නියමිත පන්දුවාර 20 අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 04ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා.

ලකුණු 163ක ඉලක්කයක් හිමි වූ ඕමාන කණ්ඩායමෙහි ප්‍රථම කඩුළු කිහිපය ඉනිම ආරම්භයේ දී ම දැවී ගියේ තරගය ඉතා පහසුවෙන් ජය ගත හැකිවනු ඇතැයි යන බලාපොරොත්තුව ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ සිත් තුළ ජනිත කරවමින්.

එමෙන්ම ඕමාන කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් ලෙස ලේබල්ගතව සිටි පිතිකරුවන් සියළු දෙනාම අඩු ලකුණු ගණනකට යළි ක්‍රීඩාගාරයට හැරී යද්දී තරගයේ විස්තර විචාරකයින් පවා ප්‍රකාශ කළේ ලැබී ඇති ලකුණු ඉලක්කය හඹායාමට තරම් හැකියාව ඇති පිතිකරුවන් ඒවන විටත් කණ්ඩායමේ ඉතිරිව නොමැති බවට යි.

කෙසේ වෙතත් තරගයේ මැද භාගය ගෙවී යද්දී මොහොමඩ් නදීම්, අයාන් ඛාන්, සන්දීප් ගෞර් සහ නසීම් ඛුෂි යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට ප්‍රබල පීඩනයක් ගෙන දුන්නේ හයේ පහරවල් පවා එල්ල කරමින්.

නසීම්ගේ ඉනිම විශේෂයෙන් කැපී පෙණුනු අතර ඔහු පන්දු 22ක් තුළ වේගවත් ලකුණු 40ක් ලබා ගත්තා.

ඔහුගේ ඉනිමට හයේ පහරවල් 04ක් ද ඇතුළත් වූවා.

තරගයේ අවසාන පන්දුවාරය තෙක් සටන අත නොහැරි ඕමාන කණ්ඩායම හමුවේ අවසන් මොහොත තෙක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් දැඩි පීඩනයකට ලක්ව සිටි බව පෙනෙන්නට වූවා.

තරගයේ අවසන් පන්දුවේ දී නසීම් දැවී ගිය අතර ඒ අනුව ඕමාන කණ්ඩායමට කඩුළු 08ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 143ක් පමණයි.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර කඩුළු 04කුත් චාමික කරුණාරත්න සහ නුවන් ප්‍රදීප් කඩුළු 02 බැගිනුත් ලබා ගත්තා.

මෙම තරග ජයත් සමග තරග දෙකකින් යුතු ශ්‍රී ලංකා - ඕමාන විස්සයි 20 තරගාවලිය 1-0ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිනවා.

ශ්‍රී ලංකාවට නොසිතූ හිසරදයක් වූ ඕමාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක දුලිප් මෙන්ඩිස් මහතා වීම ද විශේෂත්වයක්.

එමෙන්ම හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක රුවන් කල්පගේ මහතා එළඹෙන ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ඕමාන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයෙක් ලෙස කටයුතු කිරීමට ද නියමිතයි.

Rate this item
(1 Vote)