May 18, 2024

වගකීම් අමතක කළ කණ්ඩායමේ බර අවිශ්ක සහ දසුන් කරට ගනියි - ඉනිම අවසන් වූයේ මෙහෙමයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන ක්‍රිකට් කණ්ඩායම අතර පළමු විස්සයි 20 ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වූවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕමාන නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ඇරයුම් කළේ තරගය පැවැත්වෙන අල් අමාරාට් ක්‍රීඩාංගනය ලකුණු හඹා යන්නන්ට වාසි සහගත බවට සැළකෙන නිසා යි.

කෙසේ වෙතත් ආධුනික කණ්ඩායමක් සේ සැලකෙන ඕමාන කණ්ඩායම තරගය ඇරඹූයේ කිසිදු ආධුනික බවක් නොපෙන්වමින්.

ප්‍රබල ඕමාන පන්දු යවන්නන් හමුවේ තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණු 0කට දැවී යාමට ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකුට සිදු වූවා. 

එලෙස දැවී ගියේ දිනේෂ් චන්දිමාල් සහ කමිඳු මෙන්ඩිස්.

අසාර්ථක වූයේ ඔවුන් දෙදෙනා පමණක් නොවන අතර ශ්‍රී ලංකා පිතිකරණ බලඇණිය ශක්තිමත් කරාවි යැයි බලාපොරොත්තු වූ පැතුම් නිස්සංක සහ භානුක රාජපක්ෂ ද ඉතාමත් අඩු ලකුණු ගණනකට දැවී ගියා.

නිස්සංක ලබාගත්තේ ලකුණු 08ක් පමණක්වන අතර භානුක දැවී ගියේ ලකුණු 15කට යි.

ශ්‍රී ලංකා පිතිකරුවන් මෙලෙස සිය වගකීම අමතක කරද්දී ඉනිමෙහි බර කරට ගැනීමට තීරණය කළේ අවිශ්ක ප්‍රනාන්දු යි.

මුල් පන්දුවාරවල දී ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක පසුව ආක්‍රමණශීලී පහරවලට පවා යමින් නොදැවී ලබා ගත් ලකුණු ගණන 83ක්.

මනරම් පිතිකරණයක නිරත වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 03ක් සහ හයේ පහර 05ක් ඇතුලත් වූවා.

අනෙක් අන්තයේ සිටි නායක දසුන් ශානක ද නායකත්වයේ වගකීම මනාව සිහිපත් කරමින් අවිශ්ක හට සවි ලබා දුන්නා.

ශානක නොදැවී ලබා ගත් ලකුණු ගණන 51ක්.

ඔහුගේ ඉනිමට හතරේ පහර 02ක් සහ හයේ පහර 05ක් ඇතුලත් වූවා.

නියමිත පන්දුවාර 20 අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 04ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා.

ඒ අනුව තරගය ජය ගැනීමට නම් ඕමාන කණ්ඩායම ලකුණු 163ක් ලබාගත යුතු වනවා.

ඕමාන පිළිතුරු ඉනිම තවත් සුළු මොහොතකින් ඇරඹීමට නියමිත යි.

Rate this item
(0 votes)