May 04, 2024

ශාහීන් ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය ප්‍රමාද කරයි

ඕමානය හරහා හමා ගිය "ශාහීන්" සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් සංචාරය දිනකින් ප්‍රමාද කිරිමට සිදුවී තිබෙනවා.

විස්සයි20 ලෝක කුසලාන තරඟාවලියට පෙර පුහුණු තරඟ දෙකකට ක්‍රීඩා වීමට 3 වෙනිදා ඕමානය බලා පිටත් වීමට නියමිතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට එරට හමා ගිය ‘ශාහීන්’ සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම රැගත් ගුවන් යානය ඊයේ (4) පස්වරු 1.30ට ඕමානය බලා පිටත්ව ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශකර තිබුණා.

ඕමාන සංචාරය දිනකින් ප්‍රමාද වූවද එරට ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත් වීමට නියමිත පුහුණු තරඟ සඳහා මේ සුළි කුණාටුවෙන් කිසිදු බාධාවක් සිදු නොවනු ඇතැයි ඈෂ්ලි ද සිල්වා මහතා විශ්වාසය පළ කළා.

"දැනට නම් එවැනි තත්ත්වයක් පෙනෙන්නේ නෑ. නියමිත පරිදි පුහුණු තරඟ දෙක පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා" ඈෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත් පවසා තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන ක්‍රිකට් කණ්ඩායම අතර පුහුණු තරග දෙක අනිද්දා 7 සහ 9 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත්තේ මස්කට් නගරයේ අල් අම්රත් ක්‍රීඩාංගණයේ වන අතර, එම තරඟ පැවැත්වීම ඉදිරි දින කිහිපය ඇතුළත ‘ශාහීන්‘ සුළි කුණාටුවේ හැසිරීම මත රඳා පවතින බව එරට ආරංචි මාර්ග සඳහන් කරනවා.

Rate this item
(0 votes)