ලබන මාසයේ ස්පාඤ්ඤයේ පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන යුරෝපීය කළාපයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් වටයට ක්‍රීඩා කරන ඉතාලි ජාතික කණ්ඩායමට ශ්‍රී ලාංකිකයින් 3ක් නම් කර තිබෙනවා. මධූප ප්‍රනාන්දු, දිනිදු මාරගේ සහ ජෝයි පෙරේරා එලෙස ඉතාලි ජාතික ක්‍රීකට් පිලට නම්කොට තිබෙන ක්‍රීඩකයින් වෙනවා.
දිනිදු අසංක මාරගේ තුන් ඉරියව්වෙන් ක්‍රීඩකයෙක්. 1981 සැප්තැම්බර් 24 දී කොළඹදී උපත ලද ඔහු දේශීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කර තිබෙනවා. වයස අවුරුදු 23න් පහළ තරගාවලියේදී බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ ඔහු හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ පානදුර ක්‍රිකට් සමාජවලටත් මුල් අවධියේදී ක්‍රීඩා කර තිබෙනවා. ඉතාලියට සංක්‍රමණය වීමෙන් පසු ඔහු 2013 සිට ලෝක ක්‍රිකට් ලීගයේ තුන්වන කොටසේ තරගාවලියේදී ඉතාලිය නියෝජනය කළා.
34 හැවිරිදි බෙන්තොට බදුගේ ජෝයි ලෙනින් පෙරේරා 1987 මැයි 1 දින ශ්‍රී ලංකාවේ උපත ලැබුවා. පසුව ඉතාලියට සංක්‍රමණය වීමෙන් පසු 2010 සිට ඉතාලිය නියෝජනය කරමින් සිටිනවා. දකුණත් මැදපෙළ පිතිකරුවෙකු වූ පෙරේරා ඉතාලි ජාතික කන්ඩායම වෙනුවෙන් විශාල මෙහෙවරක් කරමින් තිබෙනවා. ඔහු 2019දී ඉතාලිය වෙනුවෙන් පළමු විස්සයි 20 තරඟයට ක්‍රීඩා කළේ ජර්මනියට එරෙහිවයි.
වමතින් පන්දුවට පහර දෙන මධූප ප්‍රනාන්දු වසර 2017 සිට ඉතාලි ජාතික කණ්ඩායම නියෝජනය කරමින් සිටිනවා. ඔහු 2018දී වැඩිම කඩුලුලාභියා වු අතර තරඟ 8කදී කඩුලු 6ක් බිදහෙලුවා.
දකුණු අප්‍රිකානු ජාතික තුන්ඉරියව් දස්කම් දක්වන ගරෙත් බර්ග් ඉතාලි ජාතික කණ්ඩායමේ නායකයා ලෙස නම්කොට තිබෙනවා. ඔහු කේප් ටවුන් හී උපත ලබා පසුව එංගලන්තයේ ප්‍රාන්ත තරඟාවලියට එක්ව දස්කම් දැක්වූ ක්‍රීඩකයෙක්. 2004දී නොදම්ටන්ෂයර් පිලට ක්‍රීඩා කළ ඔහු 2014 දක්වා මිඩ්ල්සෙක්ස් පිලට එක් වුණා. පසුව 2015 සිට 2019 දක්වා හැම්ෂයර් පිලට එක්වූ හෙතෙම තවමත් එම ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරනවා.
ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙසේය: ගරෙත් බර්ග් (නායක/ප්‍රධාන පුහුණුකරු), ජේඩ් ඩර්න්බැච්, මධූප ප්‍රනාන්දු, ජේමි ග්‍රැසි, ග්‍රාන්ට් ස්ටුවර්ට්, ඩැරන් ලෝ, දිනිදු මාරගේ, ජියන්-පියෙරෝ මේඩ්, ජෝයි පෙරේරා, අමීර් ෂරීෆ්, බල්ජිත් සිං, ජස්ප්‍රීත් සිං, මන්ප්‍රීත් සිං, නිකොලායි ස්මිත්.