May 06, 2024

ක්‍රීඩකයන් අවදානමේ! ඉන්දියා - එංගලන්ත අවසන් ටෙස්ට් තරගය නවතී

September 10, 2021

එංගලන්තය හා ඉන්දියාව අතර අද (10) ආරම්භ වීමට නියමිතව තිබූ 5 වැනි ටෙස්ට් තරගය අවලංගු කර තිබෙනවා.

මෙම තීරණය ගෙන තිබෙන්නේ ඊයේ (9) මධ්‍යම රාත්‍රියේ එංගලන්ත හා ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩල අතර ඇතිවූ සාකච්ඡාවකින් පසුවයි.

තරගය අවලංගු කළ පණිවිඩය ඉන්දීය කණ්ඩායමට ලැබී තිබෙන්නේ අද (10) උදෑසන.

ක්‍රීඩකයින් රැසක් ආසාදිතයින්

ඉන්දියාවට තරගය සඳහා ක්‍රීඩකයින් 11 දෙනෙකු නම් කර ගත නොහැකි ආකාරයට කණ්ඩායම තුළ කොවිඩ් ව්‍යාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ කොවිඩ් ආසාදිත කණ්ඩායමේ සහකාර භෞතික චිකිත්සක ලෙස කටයුතු කරන යෝගේෂ් පර්මාර් සමග කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසක්ම මුසු වී තිබීම හේතු කොටගෙන.

එම ක්‍රීඩකයන් අතර රෝහිත් ෂර්මා , චේතෂ්වර් පුජාරා , රවින්ද්‍ර ජඩේජා , මොහොමඩ් සිරජ් , මොහොමඩ් සාමි හා ඉෂාන්ත් ශර්මා වනවා.

පරීක්ෂණවල වාර්තා

එම ක්‍රීඩකයන් සමග ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නිලධාරීන් වෙනම සාකච්ඡාවක්ද පවත්වා ඔවුන් වෙනම තබා ගැනීමට කටයුතු කර තිබෙනවා.

මේ ක්‍රීඩකයන්ද ඇතුළත්ව සමස්ත ඉන්දීය කණ්ඩායමේම රැපිඩ් ඇන්ටිජෙන් සහ පි.සී.ආර් පරීක්ෂණ කළ අතර ඒ සියල්ලෙන්ම ආසාදිතයන් නොවන බව තහවුරු වී තිබුණද ඊයේ (9) කළ පරීක්ෂණවල වාර්තා තවමත් පැමිණ නැහැ.

එම වාර්තාවලින් බොහෝ ක්‍රීඩකයන් ආසාදිතයන් ලෙස හඳුනාගනිතැයි සැකයක් ඉන්දීය පාලක මණ්ඩලය තුළ තිබෙනවා.

එංගලන්ත පාලක මණ්ඩලයට සිදු වූ පාඩුව

එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයේ පැවැත්වීමට නියමිත මෙම තරඟයෙන් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට අහිමි වන මුදල බ්‍රිතාන්‍ය පවුම් මිලියන 30ක්.

ශ්‍රී ලංකාවේ මුදලින් නම් රු. මිලියන 750 කට ආසන්න මුදලක්.

තරඟ විකාශ අයිතිය , නරඹන්නන් සහ වෙනත් දැන්වීම් හරහා එන ආදායම් ඊට ඇතුළත්.

මේ පාඩුව විසඳාගැනීම සඳහා තවමත් සාකච්ඡා වී නැහැ.

කෙසේ වෙතත් අවලංගු කරන ලද තරඟය ලබන වසරේ ඉන්දීය කණ්ඩායම එංගලන්තයේ එක්දින හා විස්සයි විස්ස තරගාවලියට පැමිණි අවස්ථාවේ ක්‍රීඩා කිරීම පිළිබඳව දෙරටේම ක්‍රිකට් පාලක මණ්ඩල වල අවධානය යොමුව තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 10 September 2021 16:26