April 25, 2024

ඉන්දියාවේ සිහින බොඳවෙයි! අවසන් පූර්ව වටයට යන කණ්ඩායම් 04 මෙන්න!

November 07, 2021

මෙවර පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් මොනවාදැයි මීට විනාඩි කිහිපයකට පෙර තීරණය වූවා.

ඒ අද (07) සවස අවසන් වූ නවසීලන්තය සහ ඇෆ්ඝනිස්තානය අතර තරගය කඩුළු 08කින් නවසීලන්තයට ජය ගෙන දෙමින් නිමා වීමත් සමග යි.

එයත් සමගම අවසන් පූර්ව වටයට පිවිසීමට ඉන්දියාවට සහ ඇෆ්ඝනිස්තානයට තිබූ අවසන් අවස්ථාව ද ගිලිහී ගියා.

ඊයේ (06) රාත්‍රිය අවසන් වූයේ කණ්ඩායම් 03ක් අවසන් පූර්ව වටයේ තම ස්ථාන වෙන් කරගනිමින්.

සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයෙන් තරග වැදුණු, එම කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින එංගලන්තය සහ දෙවැනි තැන ගෙන සිටින ඔස්ට්‍රේලියාව එම කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට තේරී පත් වූවා.

මෙතෙක් අපරාජිතබව රැක ගත් එංගලන්තය ඊයේ පැවැති තරගයේ දී දකුණූ අප්‍රිකාව ඉදිරියේ පරාජයට පත් වුවත්, දකුණු අප්‍රිකාවට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අතහැර ගැනීමට සිදු වූයේ ඔවුන්ගේ දල ලකුණූ ලබා ගැනීමේ වේගයට වඩා ඔස්ට්‍රේලියාවේ ලකුණූ වේගය ඉහළ අගයක් ගැනීම නිසා යි.

දෙවැනි කාණ්ඩයෙන් තරග වැදුණු පාකිස්තානය ප්‍රසාද ලකුණූ 08ක් ලබා ඊයේ වන විට අවසන් පූර්ව වටය සඳහා තේරී පත්ව සිටි අතර අද සවස අවසන් වූ තරගය ජය ගැනීමත් සමග ප්‍රසාද ලකුණූ 08ක් ලබා ගනිමින් දෙවැනි කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට තේරී පත් වීමට නවසීලන්තය ද සමත් වුණා.

ඒ අනුව එංගලන්තය, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය සහ නවසීලන්තය මේවන විටත් අවසන් පූර්ව වටය තුළ තම ස්ථාන තහවුරු කරගෙන ඇති අතර පළමු අවසන් පූර්ව තරගය නොවැම්බර් 10 වෙනි දාත්, දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ 11 වැනි දාත් පැවැත්වීමට නියමිත යි.

කෙසේ වෙතත් මෙම පුවත පළ කරන අවස්ථාව වන විට අදාළ තරගවල දී එකිනෙකා හා ගැටෙන කණ්ඩායම් මොනවාදැයි නිශ්චිතව කිව නොහැකි වී ඇත්තේ මේවන විට පැවැත්වෙන පාකිස්තාන - ස්කොට්ලන්ත තරගයෙන් පසු දෙවැනි කාණ්ඩයේ ලකුණු සටහනේ අනුපිළිවෙල වෙනස්විය හැකි බැවින්.

දෙවැනි කාණ්ඩයේ දෙවැනි තැන ගෙන සිටින පාකිස්තානය මේවන විටත් අවසන් පූර්ව වටයට තේරී පත්ව ඇතත් අද තරගයේ ප්‍රතිඵලය අනුව ඔවුන් පළමු තැනට පත් වීමේ ඉඩ කඩක් ද පවතිනවා.

10 වැනි දා පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය පළමු කාණ්ඩයේ පළමු තැන ගත් එංගලන්තය සහ දෙවැනි කාණ්ඩයේ දෙවැනි තැන ගන්නා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත යි.

11 වැනි දා පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ පළමු කාණ්ඩයේ දෙවැනි තැන ගත් ඔස්ට්‍රේලියාව සහ දෙවැනි කාණ්ඩයේ පළමු තැන ගන්නා කණ්ඩායම අතර යි.

මෙම පුවත පළ කරන අවස්ථාව වන විට සුපිරි 12 වටයේ කණ්ඩායම්වල ලකුණූ සටහන් පහතින්...

Rate this item
(2 votes)
Last modified on Sunday, 07 November 2021 20:29