March 28, 2024

ශ්‍රී ලංකාවට තවමත් පුලුවන්ද? අද තරගයට පෙර ඔබ දැනගත යුතුම කරුණු!

November 01, 2021

අවසන් බලාපොරොත්තුව

මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන බලාපොරොත්තුව ශ්‍රී ලංකාවෙන් මේවන විට ගිලිහී ඇති බවට බොහෝ දෙනා සිතුවත් තර්කානුකූලව බැලූ විට ශ්‍රී ලංකාවට ඇති අවස්ථාව තවමත් අහිමි වී නැහැ.

සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයේ ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 04 වැනි ස්ථානයේ.

ඒ තරග තුනක් ක්‍රීඩා කර තරග දෙකක් පරාජයට පත් වූ වාතාවරණයක් මත යි.

ඔස්ට්‍රේලියාව තුන්වැනි ස්ථානයේත්, දකුණු අප්‍රිකාව දෙවැනි ස්ථානයේත්, රැඳී සිටින අතර පළමු තැන ගෙන ඇත්තේ එංගලන්තයයි.

මීට සුළු මොහොතකට පෙර මෙවර සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගිවන සිව්වැනි තරගය ආරම්භ වූ අතර එය පැවැත්වෙන්නේ පළමු කාණ්ඩයේ පළමු තැන ගෙන ඇති එංගලන්තය සමග වීම විශේෂත්වයක්.

අද තරගය තීරණාත්මකයි

එංගලන්තය මේවන විට මෙම වටයේ තරග 03ක් ක්‍රීඩා කර ඇති අතර එම තරග 03ම ජය ගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 06ක් හිමිකර ගනිමින්.

එමෙන්ම +3.948ක ශක්තිමත් ලකුණූ ලබාගැනීමේ වේගයක් හිමි කර ගැනීමට ද ඔවුන් සමත් වී තිබෙනවා.

ප්‍රසාද ලකුණු 02කට පමණක් හිමිකම් කියන ශ්‍රී ලංකාවේ දල ලකුණූ ලබාගැනීමේ වේගය වන්නේ -0.350ක්.

මෙම කරුණූ සලකා බැලූ විට බැලූ බැල්මට ශ්‍රී ලංකාව පිළිබඳ ඍණාත්මක ආකල්පයක් ඇති වුවත්, ඉදිරි තරග සියල්ලම හොඳ ලකුණු ලබාගැනීමේ වේගයක් ඇතුව ජය ගතහොත් අවසන් පූර්ව වටයට යාමේ හැකියාව හිමිකරගැනීමේ සම්භාවිතාවක් ඇති බව ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවට ඉහළින් සිටින කණ්ඩායම් ඉදිරි තරගවලදී ලබන පරාජයන් ද ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන බලාපොරොත්තුවට තීරණාත්මකව බලපානු ඇති.

මෙලෙස බැලූ විට තව දුරටත් ලෝක කුසලාන සිහිනයේ මඳක් හෝ රැඳී සිටීමට නම් අද තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට අනිවාර්යවනවා.

වෙනත් ආකාරයකින් කිවහොත් අද තරගය පරාජයට පත් වුවහොත් ශ්‍රී ලංකාවට මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයෙන් නතර වීමට සිදුවනු ඇති.

දෙපිලේ වෙනස

කෙසේ වෙතත් එංගලන්තය යනු ICC පන්දුවා 20 ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසුවන කණ්ඩායම යි.

ශ්‍රී ලංකාව පසුවන්නේ 10 වැනි ස්ථානයේවන අතර ඒ අනුව අද තරගයේ දී ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝගය සුලු පටු නැහැ.

කණ්ඩායම් දෙක අතර මෙතෙක් පවත්වා ඇති පන්දුවාර 20 තරග ගණන 12ක්.

ඉන් 08ක ජය එංගලන්තය වාර්තා කර ඇති අතර ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ තරග 04ක් පමණ යි.

එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාව අවසන්වරට විස්සයි විස්ස තරගයක් ජයග්‍රහණයෙන් කෙළවර කරගත්තේ 2014 වසරේ වීම ද කැපී පෙණෙනවා.

මහරූෆ් කියන දේ

මේ අතර හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ෆර්වේස් මහරූෆ් අද තරගය පිළිබඳ මෙලෙස අදහස් පළ කළා.

“මෙම තරගාවලිය පුරාවටම පාකිස්තානය සහ එංගලන්තය තමයි හොඳටම ක්‍රීඩා කරන්නේ අංශ 03න්ම. ඔවුන් ක්‍රීඩා කරනකොට තේරෙනවා ලොකු වෙනසක් තියෙනවා කියලා. ඉතිං, එංගලන්තය වගේ කණ්ඩායමක් එක්ක තරග කරන්න නම් අපි අපේ සියයට සියයක් පර්ෆෙක්ට් ගේම් එක සෙල්ලම් කළ යුතුයි. බැරි කමක් නෑ. ඒත් ස්මාට් වෙලා, ගොඩක් දේවල් අපේ පැත්තට වැඩ කරන විදිහට අපි වැඩ කළ යුතුයි”

Rate this item
(3 votes)
Last modified on Monday, 01 November 2021 15:41