April 25, 2024

අවසන් සටනේ එක් පාර්ශවයක් තීන්දුයි! තීරණාත්මක තරගය නිමා වූයේ මෙහෙමයි!

November 11, 2021

අවසන් සටනට පෙර

මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයේ අවසාන මහා තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් ද්විත්වය තෝරාගන්නා අවසන් පූර්ව වටයේ පළමු තරගය ඊයේ (10) මැදියම් රැය ආසන්න වෙද්දී නිමාවට පත් වූවා.

ඒ ඉතා තියුණු ආකාරයෙන්.

පළමු අවසන් පූර්ව තරගය එලෙස පැවැත්වුණේ නවසීලන්තය සහ එංගලන්තය අතර යි.

එංගලන්ත පිතිකරණය

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත පිතිකරුවන් කඩුලු 04ක් දැවී රැස් කළ ලකුණු ගණන 166ක්.

මොයීන් අලී නොදැවී ලකුණු 51ක් රැස් කළ අතර ඩේවිඩ් මලාන් ලකුණු 41කට දැවී ගියා.

ජෝස් බට්ලර් ලකුණූ 29යි. ජොනී බෙයාස්ටෝ ලබා ගත්තේ ලකුණූ 13ක් පමණයි.

ලියම් ලිවිංස්ටන් ලකුණු 17ක් ලබා ගත් අතර ඉනිම අවසන් වෙද්දී නොදැවී සිටි නායක ඔයින් මෝගන් ලකුණු 4ක් ලබා සිටියා.

පන්දු යැවීමේ දී ටිම් සෞතී, ඇඩම් මයිල්න්, ඉෂ් සෝධි සහ ජේම්ස් නීෂම් එක් කඩුල්ල බැගින් ලබා ගත්තා.

පීඩනය හමුවේ ඇරඹුණූ පිලිතුරු ඉනිම

ලැබී තිබූ ලකුණු 167ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි නවසීලන්ත පිතිකරුවන්ට මෙවර ලෝක කුසලානය සිහිනයක්ම පමණකැ යි සැවොම සිතුවේ ආරම්භයේ සිටම එංගලන්ත පන්දු යවන්නන්ගේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය හේතුවෙන්.

නවසීලන්ත පළමු කඩුල්ල දැවී ගියේ ඉනිමෙහි තෙවැනි පන්දුවේ දී යි.

ප්‍රබල පිතිකරු මාටින් ගප්ටිල් එලෙස දැවී ගියේ මොයීන් අලී වෙත උඩපන්දුවක් ලබා දෙමින්.

ක්‍රිස් වෝක්ස්ගේ පන්දුවකට එලෙස දැවී ගිය ගප්ටිල් හට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 04ක් පමණ යි.

ඉන් නොනැවතුණු එංගලන්ත ක්‍රීඩකයින් ඉනිමෙහි තුන්වැනි පන්දු වාරයේ දී නවසීලන්ත දෙවැනි කඩුල්ල ද බිඳහෙලුවා.

ක්‍රිස් වෝක්ස් යැවූ පන්දුවකට අදිල් රෂීඩ් අතට උඩ පන්දුවක් ලබා දෙමින් එලෙස දැවී ගියේ නවසීලන්ත නායක කේන් විලියම්සන්.

විලියම්සන් දැවී ගියේ ලකුණු 05කට යි.

කොන්වේ - මිචෙල් සබඳතාව

නවසීලන්තයේ ආරම්භය එලෙස දුබල වුවත් එල්ල වුණ දැඩි පීඩනය හමුවේ තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 82ක සබඳතාවක් ගොඩ නැගීමට ඩැරිල් මිචෙල් සහ ඩෙවෝන් කොන්වේ සමත් වුණා.

ඔවුන්ගේ පිතිකරණය එතරම් පහසු වූයේ ද නැති අතර දෙදෙනාම ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ අයුරු දකින්නට ලැබුණා.

කෙසේ වෙතත් 14 වැනි පන්දු වාරයේ දී ඩෙවෝන් කොන්වේ දැවී ගියේ එංගලන්ත ප්‍රේක්ෂකයින්ගේ ජය ඝෝෂා මධ්‍යයේ යි.

දැවී යද්දී කොන්වේ ලකුණු 46ක් ලබා සිටි අතර ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 05ක් අන්තර්ගත වූවා.

නවසීලන්ත තෙවැනි කඩුල්ල එලෙස දැවී යද්දී මුලු ලකුණු ගණන සටහන් වූයේ 95ක් ලෙසින්.

මීලඟ පිතිකරු ලෙස පැමිණි ග්ලෙන් ෆිලිප්ස් හට සාර්ථක වීමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ලියම් ලිවිංස්ටන්ගේ පන්දුවකට සෑම් බිලිංස් හට උඩ පන්දුවක් ලබා දෙමින් ෆිලිප්ස් දැවී ගියේ ලකුණු 02කට යි.

කෙසේ වෙතත් තරගයේ වගකීම කරට ගෙන සිටි ඩැරිල් මිචෙල් සහ මීලඟ පිතිකරු වූ ජේම්ස් නීෂම් ලකුණූ 40ක සබඳතාවක් ගොඩ නැගුවේ පන්දු 17ක් තුළ යි.

කෙසේ වෙතත් 18 වැනි පන්දු වාරයේ දී නීෂම් දැවී ගියා.

දැවී යන විට ලකුණූ 27ක් ලබා සිටි ඔහු ඒ සඳහා වැය කර තිබුණේ පන්දු 11ක් පමණ යි.

හයේ පහර 03ක් සහ එක් හතරේ පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත් වූවා.

නීෂම් දැවී ගියේ අදිල් රෂීඩ් යැවූ පන්දුවකට ඔයින් මෝගන් අතට උඩපන්දුවක් ලබා දෙමින්.

මිචෙල්ගේ තනි සටන

පත්ව සිටි අසීරු අවස්ථාවෙන් නවසීලන්තය ගොඩ ගැනීමට ක්‍රීඩා කළ ඩැරිල් මිචෙල්, එල්ලවන පීඩනය නොතකා මනරම් පහරවල් එල්ල කරමින් තනිව සටන් කරන අයුරු දක්නට ලැබුණා.

අවසන් පන්දු කිහිපය තුළ හයේ පහරවල් කිහිපයක්ම එල්ල කළ මිචෙල් නවසීලන්තයේ ජය තහවුරු කිරීමට දැඩි උත්සාහයක් දැරුවා.

එහි ප්‍රතිඵලයක් ලෙස අවසන් පන්දු 07 තුළ ලකුණු 04ක ඉලක්කයක් නවසීලන්තයට හිමි වූවා.

එය පීඩනයක් ලෙස නොතැකූ මිචෙල් 19 වැනි පන්දු වාරයේ අවසන් පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් නවසීලන්තය අවසාන මහා තරගය තෙක් රැගෙන යාමට සමත් වූවා.

ජයග්‍රහණය

ඒ අනුව කඩුලු 05ක් දැවී ලකුණු 167ක් ලබා ගනිමින් නවසීලන්තය තරගය ජය ගත්තේ කඩුලු 05කින්.

නවසීලන්තයේ ගැලවුම්කරුවා වූ ඩැරිල් මිචෙල් නොදැවී ලකුණු 72ක් ලබා ගත්තා.

ඔහු ඒ සඳහා වැය කළේ පන්දු 47ක් පමණ යි.

හයේ පහර 04ක් සහ හතරේ පහර 04ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වූවා.

තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ද ඩැරිල් මිචෙල්.

අවසාන මහා තරගය

මෙම තරගයේ ප්‍රතිඵලයත් සමගින් නවසීලන්තය අවසාන මහා තරගයේ දී ක්‍රීඩා කරනු ඇති.

එළැඹෙන 14 වැනි දා පැවැත්වෙන අවසාන මහා තරගයේ දී නවසීලන්තයේ ප්‍රතිවාදී කණ්ඩායම කවුරුන්දැයි තෝරා ගන්නා දෙවැනි අවසන් පූර්ව තරගය අද (11) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ පාකිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර යි.

මෙම තරගාවලිය තුළ දී පාකිස්තානය එකදු තරගයක් හෝ පරාජයට පත්ව නොමැති වීම ද විශේෂත්වයක්.

දෙවැනි අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිත යි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 11 November 2021 07:27