May 05, 2024

මාස 18කට පසුව ශ්‍රී ලංකා එක්දින තරඟාවලියක් ජයගනී!

September 07, 2021

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැති තීරණාත්මක තෙවනි එක්දින තරගයෙන් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කාසිය වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුළු 09ක් දැවී ලකුණු 203ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට පිටිය තුළ කිසිව අවස්ථාවක ස්ථාවර වන්නට ඉඩ නොදීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වෙනවා.

දඟ පන්දු යවන්නන් සඳහා වාසිදායක වූ ප්‍රේමදාස තණතිල්ලේ දී දකුණු අප්‍රිකාවේ ප්‍රබල කඩුළු දෙකක් දවා ගන්නට ශ්‍රී ලංකාවේ ප්‍රධාන වේග පන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර සමත් වුණා. ඔහු ලකුණු 16කට කඩුළු 02ක් දවා ගන්න සමත් වුණා.

සිය මංගල එක්දින තරගය ක්‍රීඩා කරන මහීෂ් තීක්ෂණ විසින් දකුණු අප්‍රිකානු පිතිකරුවන් මවිතයට පත් කරමින් තීරණාත්මක කඩුළු 04ක් දවාගන්න සමත් වන්නේ ලකුණු පන්දුවාර 10ක් තුළ ලකුණු 37ක් පමණක් ලබා දෙමිනි. 

ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෙකු සිය මංගල තරගයේ දී ලබාගත් වැඩිම කඩුළු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියන්නටද මහීෂ් තීක්ෂණ සමත් වුණා.

වනිඳු හසරංග කඩුළු 02ක්ද, ප්‍රවීන් ජයවික්‍රම සහ චරිත් අසලංක කඩුළු 01 බැගින්ද බිඳ හෙළුවා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත්තේ හෙන්රිච් කාල්සන් වන අතර ඔහු ලකුණු 22ක් රැස් කරගත්තා. සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසු කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 78ක දැවැන්ත ජයක් හිමි කරගත්ත අතර 2023 අන්තර්ජාතික එක්දින කුසලාන තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 05 වෙනි තැනත් ශ්‍රී ලංකාවට හිමි වුණා.

දුෂ්මන්ත චමීර තරගයේ වීරයා ලෙස තේරී පත් වෙද්දී තරඟාවලියේ වීරයා ලෙස චරිත් අසලංක තේරීපත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මාස 18කට පසුව ප්‍රථම වතාවට එක්දින තරඟාවලියක ජයත් හිමි කරගත්තේ මෙලෙසයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 September 2021 22:02