May 03, 2024

ෂම්සිට වාර්තාවක් ලබාදී ශ්‍රී ලංකාව පරාජයට පත්වෙයි

September 04, 2021

ශ්‍රී ලංකාව සහ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර 02 වෙනි එක්දින තරගයේ ජය හිමි කර ගැනීමටද දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

වර්ෂාව නිසා දිගින් දිගටම තරගයට බාධා වීම නිසා නියමිත වෙලාවට තරගය ආරම්භ කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසාම එක් ඉනිමක් පන්දුවාර 47කට සීමා වුණා. 

කාසිය වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 47 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 283ක් රැස් කළා.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භයට පෙර වර්ෂාව නැවත වතාවක් හරස් වුණු අතර ඒ නිසා DLS න්‍යාය අනුව ශ්‍රී ලංකාවට පන්දුවාර 41ක් තුළ ලකුණු 265ක ඉලක්කයක් හිමිව තිබුණා.

නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් කිසිවෙකුටත් සාර්ථක වීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ. ඒ අනුව මුල් පෙළ කඩුළු 03ක් ලකුණු 18ක් තුළ බිඳ වැටෙනවා.

පසුව නායක දසුන් ශානක සහ චරිත් අසලංක එක්ව සම්බන්ධතාවයක් ගොඩ නැගුවත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් වුණේ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණේ චරිත අසලංකයි. ඔහු ලකුණු 77ක් රැස් කරගත්තේ 06 පහර 03ක් සහ 04 පහර 05ක් සමඟයි. 

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට ආසන්න වෙද්දී කණ්ඩායමට බලාපොරොත්තුවක් එක් කරමින් ප්‍රවේගකාරී පිතිකරණය නිරත වන්නට චාමික කරුණාරත්න උත්සාහ කළත් ඔහු දකුණු අප්‍රිකානු නායකයාගේ පන්දුවක් හමුවේ අනවශ්‍ය පහරක් එල්ල කිරීමට ගොස් දැවී යනවා.

ඒ වන විට චාමික පන්දු 23කට මුහුණ දී ලකුණු 36ක් රැස් කරගෙන සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් අසරණ කරන්නට ලෝකයේ අංක 1 විස්සයි විස්ස පන්දු යවන්නා සමත් වන අතර ඔහු සිය එක්දින ජීවිතයේ හොඳම පන්දු යැවීම ද අද (04) වාර්තා කළා. ඒ අනුව ටබ්රිස් ෂම්සි පන්දුවාර 7.4ක් තුළ ලකුණු 49කට කඩුළු 5ක් බිඳ හෙලීමට සමත් වුණා.

අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව දැක්වුණේ පන්දුවාර 36යි පන්දු 4ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 197ක් ලෙසයි.

දකුණු අප්‍රිකානු කණ්ඩායම 67ක ජයක් ලබාගත්තා. ඒ අනුව කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගෙන සමතැන් ගෙන සිටින අතර අවසාන තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක වනු ඇත.

Rate this item
(0 votes)
Last modified on Saturday, 04 September 2021 23:41