May 17, 2024

දික්වැල්ල, ස්මිත් මඟ යයි - අලුත් ඉනිමකට සැරසෙයි

විනය කඩ කිරීමකට හසුව තරඟ තහනමකට ලක්ව සිටින නිරෝෂන් දික්වැල්ල නැවත වරක් ශක්තිමත් ආරම්භයක් ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වීමේ අරමුණින් පුහුණු වීම් කරමින් සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසා සිටින්නේ නිරෝෂන් විසින් ස්ටීව් ස්මිත්ගේ මඟ යමින් සිටින බවයි. 

දිනකට පැය 07ක් පමණ ක්‍රිකට් පුහුණු වීම්වල නිරත වීමටද දික්වැල්ල කටයුතු කරන බවත් හැකි ඉක්මණින් තහනමෙන් පසුව කණ්ඩායම සමඟ එක්වීමට අපේක්ෂාවෙන් සිටින බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියා.

එංගලන්ත සංචාරයේ දී සිදුවූ විනය කඩ කිරීම සම්බන්ධයෙන් හසුවූ ක්‍රීඩකයන් තිදෙනාගෙන් දැඩිම පසුතැවීමකට පත්වූ ක්‍රීඩකයා වන්නේ ද නිරෝෂන් දික්වැල්ල බවටයි වාර්තා වන්නේ. 

ඔහු විසින් විනය කමිටුව ඉදිරියේ දීද සියලු චෝදනා පිළිගනිමින් සිදුවුණු දේ පිළිබඳව අවංකව අදහස් ප්‍රකාශක කළ බවත් විනය කමිටුවට ඒ නිසා ඔහු පිළිබඳව පැහැදීමක් ඇති වුණු බවද වාර්තා වෙනවා.

නිරෝෂන් තහනම ලිහිල් කරගැනීම සඳහා බලාපොරොත්තුවෙන් කටයුතු කරන බව පැවසූ ක්‍රිකට් ආරංචි මාර්ග පවසා සිටියේ ඔහුට ඒ සඳහා අයිතියක් ඇති බවයි.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියේ ටෙස්ට් කණ්ඩායමට ඔහුගේ සේවය සහ කඩුලු පිටුපස සිට ඔහුගේ වාචික සහයෝගය අවශ්‍ය විය හැකි බවටයි.

පන්දුව පළුදු කිරීමේ චෝදනා ලැබ වසරක ක්‍රිකට් තරඟ තහනමකට ලක්වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ස්ටිව් ස්මිත් 2019 වසරේ නැවත ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන්නේ ශක්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසිනි.  නිරෝෂන් දික්වැල්ලද මෙම මඟ අනුගමනය කරමින් නැවත ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වෙන්න සුදානමින් සිටියි.

Rate this item
(18 votes)
Last modified on Tuesday, 10 August 2021 09:43