April 30, 2024

කුසල්, නිරෝෂන් සහ ධනුෂ්ක කළ හානියේ තරම මෙන්න

ජෛව බුබුලෙන් මිදී එංගලන්තයේ ඩර්හැම් නගරයේ විදී අතර විනෝද වීමට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් උප නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන් තිදෙනාව මේ වන විට මීගමුවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක අනිවාර්ය නිරෝධායනයට යොමු කර තිබෙනවා.

ඊයේ (28) දිනයේ නිකුත් වූ වීඩියෝවකින් මෙම තිදෙනාම ජෛව බුබුළෙන් මිදී ඩර්හැම් නගරයේ ඇවිද යන ආකාරය දැකගත හැකි වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් තිදෙනාටම තරග තහනමක් පනවා නැවත ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමට කටයුතු කළා.

මෙම තිදෙනා විසින් කරන ලද ක්‍රියාව හේතුවෙන් ශ්‍රී ලංකාව දැඩි අර්බුදයකට මුහුණ දීමට තිබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කලමණාකාරීත්ව කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

මහාචාර්යවරයා විසින් මෙම තිදෙනා කළ හානිය පිළිබඳව කියා සිටියේ මෙවන් කතාවක්,

“ජෛව බුබුලක් ඇතිකරන්න තියෙන වියදම අති විශාලයි. වෙන අවස්ථාවල එළියට ගිහිල්ලා පාටි දාලා අහු වුණොත් ඒක බලපාන්නේ තමුන්ට විතරයි. මෙතනදී මේක ලොකු ප්‍රශ්නයක්.. මොකද මේක සිරීස් එකටම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.. ඉන්දියන් සිරීස් එකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.. මොකද අපේ රට රෙඩ් ලිස්ට් එකේ ඉන්නේ එංගලන්තයේ. ඒත් එගොල්ලෝ අපේ ටීම් එකට එන්න දුන්නා.. ක්‍රිකට් බෝඩ් එක මිලියන 69ක් වියදම් කරලා වෙනම ෆ්ලයිට් එකක මේ ක්‍රීඩකයන් අරින්නේ. එහෙම කරලා මෙහෙම කරද්දී මුණට කෙළ ගහනවා වගේ වැඩක් මේක..ඒ හින්දා ඒකට අනිවාර්යෙන් දඬුවම් ලැබිය යුතුයි….”

ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ මෙම තිදෙනාට අවම වසරක ක්‍රිකට් තහනමක් පැනවීමේ හැකියාව ඇති බවයි.

දින 14ක නිරෝධායන ක්‍රියාවලිය අවසන් වූ පසුව තිදෙනාටම එරෙහිව විනය පරික්ෂණය ආරම්භ කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවසා තිබෙනවා.

Rate this item
(0 votes)