April 30, 2024

කුසල්, ධනුෂ්ක, නිරෝෂන් එළියට ගිය හේතුව හෙළිවෙයි

එංගලන්ත තරඟ සංචාරය අතර ජෛව බුබුළෙන් පිටතට පැමිණ එංගලන්තයේ ඩර්හැම් නරගයේ වීදි අතර ඇවිද ගිය බවට චෝදනා ලැබ තරඟ තහනම් වී සිටින උප නායක කුසල් මෙන්ඩිස්, කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල සහ ආරම්භ පිතිකරු ධනුෂ්ක ගුණතිලක හෝටලයෙන් පිටතට ගිය හේතුව හෙළි වී තිබෙනවා.

BDCricTime වෙබ් අඩවිය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගයක් විසින් මේ බව අනාවරණය කර තිබුණා.

එම ආරංචි මාර්ග විසින් සඳහන් කර ඇත්තේ මෙම ක්‍රීඩකයන් තිදෙනා ජෛව බුබුළෙන් ඉවත් හෝටලයෙන් පිටතට ගොස් ඇත්තේ කෑම පාර්සල් වගයක් ගෙන ඒම සඳහා බවයි.

මෙන්ම ඔවුන් කිසිම අවස්ථාව රාත්‍රී සමාජශාලා හෝ තබෑරුම් වෙත නොගිය බවත්, එලෙස එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් එම ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා. ක්‍රීඩකයන් තිදෙනා විසින් ද මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඔවුන් හෝටලයෙන් පිටත රැඳි සිට ඇත්තේ පැය 2-3ක කාලයක් පමණක් බවද එහිදී වෙබ් අඩවිය වෙත කරුණු පැහැදිළි කරමින් එම ආරංචි මාර්ග පවසා තිබුණා.

එමෙන්ම ක්‍රීඩකයන් කිසිම අවස්ථාවක ඩර්හැම් සිටි සෙන්ටර් එකෙන් පිටතට නොගිය බවද එම ආරංචි මාර්ග පවසා තිබෙනවා.

එමෙන්ම කුසල් මෙන්ඩිස් අතේ තිබුණු දුම්වැටිය සම්බන්ධයෙන් ඔවුන් විසින් වෙබ් අඩවිය වෙත කරුණු පැහැදිළි කිරීමක් කර තිබුණු අතර එහිදී පවසා තිබුණේ කුසල් මෙන්ඩිස් ඉඳහිට දුම්පානය කරන බවත් ඔහු පුරුද්දක් හෝ ඇබ්බැහි වීමක් වශයෙන් දුම්පානය නොකරන බවත්ය.

මෙම සිදුවීම සම්බන්ධ සම්පුර්ණ වාර්තාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කලමණාකරු මනුජ කාරියප්පෙරුම මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබාදීමට නියමිත අතර ඉන්පසුව ඔවුන් තිදෙනා සම්බන්ධව විනය පරික්ෂණ ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මේ වන විට ක්‍රීඩකයන් තිදෙනා මීගමුවේ පෞද්ගලික හෝටලයක දින 14ක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියකට යොමුකර තිබෙනවා.

Rate this item
(1 Vote)